• Shaminda Jayarathne

Wanindu vs Kohli, Babar vs Rashid! ජයග්‍රහණය කාටද?

15 වන වතාවට ක්‍රියාත්මක වන ආසියානු කුසලාන තරඟාවලිය අනිද්දා දිනයේදී ඩුබායි කේන්ද්‍ර කොටගෙන ආරම්භ වීමට නියමිත වනවා. මේ තරඟාවලියේදී විවිධ තීරණාත්මක කණ්ඩායම් ගැටුම් කිහිපයක්ම හමු වීමට නියමිතයි. ඒ අතරට ක්‍රීඩක ගැටුම්ද අන්තර්ගත වනවා. මේ එවැනි තරඟකාරී ගැටීම් 3 ක් පිළිබඳව තබන සටහනක්.


1. වනිඳු vs කෝලි


පසුගිය දශකය පුරාවටම ක්‍රිකට් ලොව නම් දරා සිටියත් මෑත කාලීන වසර කිහිපයකදී විරාට් කෝලි තම රිද්මයෙන් බැහැර වී තිබෙනවා. විශේෂයෙන්ම කෝලි තමන්ගේ ශරීරයෙන් ඉවතට යන පන්දු වලට මුහුණ දීමේ අපහසුවක් පෙන්නුම් කරනවා.


වනිඳු හසරංග යනු මෑත කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් ජාත්‍යන්තරයට පායා ආ නවතම තරුව බව විවාදයකින් තොරවම හඳුන්වා දිය හැකි ක්‍රීඩකයෙක්. වනිඳු සහ කෝලි යන දෙපළම තවමත් හරි ආකාරයෙන් ක්‍රිකට් පිටියේදී මුහුණට මුහුණ ගැටුනේ නෑ.


කෝලි පා දඟ පන්දු යැවීමට එරෙහිව විස්සයි විස්ස පිටියේ 62 ක සාමාන්‍යක් පවත්වා ගනිද්දී වනිඳු තමන්ගේ විස්සයි විස්ස දිවියේ ලබාගත් කඩුලු 116 කින් 86ක් දකුණත් පිතිකරුවන් දවාගෙන තිබෙනවා. කෝලිට එරෙහිව වනිඳු විස්සයි විස්ස පිටියේදී යවා ඇත්තේ පන්දු 6ක් පමණයි. එයට ඔහු ලකුණු 4ක් රැස් කරගෙන තිබෙන අතර එක් වතාවක්වත් දැවී ගොස් නෑ. මේ නිසාවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙවන වටයට පිවිසුණහොත් එය සුපිරි ගැටුමක ආරම්භය වනු ඇති.


බාබර් vs රශීඩ්


වත්මන් විස්සයි විස්ස පිටියේදී බාබර් අසාම් යනු කෙතරම් භයානක පිතිකරුවෙක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කිරීම අනවශ්‍යයි. සටන්කාමීත්වය, ඉවසීම, කණ්ඩායමේ කොඳුනාරටිය වීමේ සියලුම හැකියාවන් බාබර් අසාම් සතුයි.


අනෙක් අතින් රශීඩ් කාන් යනු ලොව අත්දැකීම් බහුලම පා දඟ පන්දු යවන්නන්ගෙන් එක් අයෙක්. ලොව පුරා ලීග් ක්‍රිකට් පිටියේ මෙන්ම ජාත්‍යන්තර පිටියේද තමන්ගේ නම විදහා දැක්වීමට රශීඩ් කාන් හට අවස්ථාව ලැබී තිබෙනවා.


බාබර් අසාම් සෑහෙන සාර්ථක පිතිකරුවෙක් වුවත් මෙතෙක් ඔහු රශීඩ් කාන් හමුවේ අසාර්ථක වීම විශේෂත්වයක්. විස්සයි විස්ස පිටියේදී රශීඩ් කාන් යැවූ පන්දු 48 කදී බාබර් අසාම් ලකුණු 59ක් රැස්කරගෙන තිබෙනවා. නමුත් මේ කාල සීමාව තුළ බාබර් ව 5 වතාවක් දවා ගැනීමට රශීඩ් කාන් සමත් වුණා. ඔහු රශිඩ් කාන් හමුවේ දක්වන්නේ ලකුණු 11.80 ක තරම් කුඩා සාමාන්‍ය අගයක්.


මේ නිසාවෙන් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් ද්විත්වයම දෙවන වටයට සුදුසුකම් ලැබුවහොත් රශීඩ් කාන් සහ බාබර් අසාම් ගේ ගැටුමේ මීළඟ අදියර ප්‍රේක්ෂකයන් ට දැක ගැනීමට හැකියාව ලැබෙනවා.


භානුක රාජපක්ෂ vs ශඩාබ් කාන්


මෙවර වමත් පිතිකරුවෙක් හා පා දඟ පන්දු යවන්නෙක්. භානුක රාජපක්ෂ යනු දත්ත වාර්තා විමසීමේදී පා දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු වේගවත් පිතිකරුවෙක් ලෙසද නම් දරා සිටිනවා.


අනෙක් අන්තයෙන් ශඩාබ් කාන් යනු වසර ගණනාවක සිට පාකිස්තානය වෙනුවෙන් සීමිත පන්දුවාර තරඟ වලදී ප්‍රධාන පා දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරන ක්‍රීඩකයායි. ඔහු වත්මන් ක්‍රිකට් පිටියේ සිටිනා තවත් අත්දැකීම් බහුල පා දඟ පන්දු යවන්නෙක් ලෙස හැඳින්වීමද වරදක් නෑ.


ශඩාබ් කාන් විසින් භානුක රාජපක්ෂ වෙතට විස්සයි විස්ස පිටියේදී පන්දු 29ක් යවමින් එක් වතාවක් ඔහුව දවා ගැනීමට සමත්ව තිබෙනවා. එම පන්දු 29 ට භානුක රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 45ක්.


මේ නිසාවෙන් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ දෙවන වටයේදී හමු වුවහොත් එය ශඩාබ් භානුක ගැටුමේ මීළඟ අදියර ලෙසින් අපට දැක බලාගැනීමට හැකි වනවා.

24 views0 comments