• Chathura Ramanayake

The Hundred තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය එංගලන්ත පිතිකරුවකුගෙන් !!



එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී හදුන්වා දුන් The Hundred තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්නට එංගලන්ත ක්‍රීඩකයෙකු ඊයේ දිනයේදී සමත් විය. ඒ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම හා නදර්න් සුපර් චේන්ජර්ස් කණ්ඩායම අතර පැවති තරගයේදීය. ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන 29 හැවිරිදි එංගලන්ත ක්‍රීඩක ඇඩම් රොසින්ග්ටන් විසින් පන්දු 15කදී මෙම අර්ධ ශතකය රැස්කළේය.


ලීඩ්ස්හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නදර්න් සුපර්චාජර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුනි. ඔවුන් නියමිත පන්දු 100 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 143ක් රැස්කළහ. ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන කණ්ඩායමේ නායක ෆැෆ් ඩුප්ලෙසිස් පන්දු 35කදී ලකුණු 56ක් රැස්කිරීමට සමත් විය. ඇඩම් හෝස් පන්දු 14කදී ලකුණු 30ක් රැස්කළේය. ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 15 තුළදී එක් කඩුල්ලක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 6ක් පමණක් ලබා දෙමිනි.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇඩම් රොසින්ග්ටන් ආරම්භයේ සිටම වේගවත් ප්‍රහාරයක් දියත් කරන්නට විය. රොයෙලොෆ් වෙන්ඩර් මර්ව් යොමුකළ ඉනීමේ අටවන, නවවන හා දසවන පන්දුවලදී පිට පිට හයේ පහර 3ක් එල්ල කරන්නට ඇඩම් රොසින්ග්ටන්ට හැකිවිය. තමා මුහුණ දුන් 15වන පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන්නට ඇඩම් රොසින්ග්ටන් සමත් විය. ඒ අනුව The Hundred තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතක ලාභියා බවට පත්වන්නට ඔහුට හැකිවිය. ඔහු විසින් බිද දැමූයේ පසුගිය 11වනදා පැවති තරගයකදී පන්දු 17කින් අර්ධ ශතකය රැස්කළ ඇඩම් ලිත්ගේ වාර්තාවයි.


ඇඩම් රොසින්ග්ටන් පන්දු 25කදී හතරේ පහර 3ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 66ක් රැස්කොට සිටියදී දැවී ගියේය. අනතුරුව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 25ක් තුළ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 43ක් රැස්කරමින් ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. මෙම තරගයේ වීරයා ලෙසින් වේගවත්ම අර්ධ ශතකය රැස්කළ ඇඩම් රොසින්ග්ටන් සම්මාන ලැබීය.


තරගයේ කෙටි ලකුණු පුවරුව


NORTHERN SUPERCHARGERS - 143/5(100 Balls)

Faf du Plessis 56 (35), Adam Hose 30 (14)

Mason Crane 2/23 (20), Glenn Maxwell 1/6 (15)


LONDON SPIRIT - 147/3(82 Balls)

Adam Rossington 66 (25),Glenn Maxwell *43 (25)

Dwayne Bravo 1/30 (20), Adil Rashid 1/29 (15)

26 views0 comments