• Chathura Ramanayake

T20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු සටනට දීක්වැල්ල ගෙන් සාර්ථක ප්‍රවේශයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ තෙවන තරගය අද පස්වරුවේදී පැවැත්විණි. එම තරගය වෙනුවෙන් එක්වූයේ දසුන් ශානක ප්‍රමුඛ SLC Greens කණ්ඩායම හා කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ SLC Reds කණ්ඩායමයි. කාසියේ වාසිය හිමිකරගත් දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව ඉනීම අරඹමින් පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ල සමගින් පැතුම් නිස්සංකයි. පැතුම් නිස්සංකට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 10ක් පමණි. ඉනීමේ අටවන පන්දුවාරයේදී දිනේෂ් චන්දිමාල් හා නුවනිදු ප්‍රනාන්දු දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය. අනතුරුව දසුන් ශානක හා නිරෝෂන් දික්වැල්ල සිව්වන කඩුල්ලට ලකුණු 42ක් එක් කළහ. දසුන් ශානක හතරේ පහර 3ක් සමගින් ලකුණු 21ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය.


ධනංජය ලක්ෂාන් ලකුණු 19ක් රැස්කළ අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 11ක් රැස්කිරීමට සමත් විය. Greens ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිරෝෂන් දික්වැල්ල නොදැවුනු විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළේය. දික්වැල්ල පන්දු 56ක් තුළදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 76ක් නොදැවී රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රැස්කිරීමට Greens කණ්ඩායම සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසි SLC Reds කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව පළමු කඩුල්ලට ලකුණු 61ක් එක් කරන්නට කුසල් මෙන්ඩිස් හා ලසිත් ක්‍රෝස්පුල්ලේට හැකිවිය. ලසිත් හා කුසල් හතරේ පහර 3ක් බැගින් එල්ල කරමින් ලකුණු 31ක් හා 30ක් බැගින් රැස්කළහ. අනතුරුව භානුක හා කමිදු තෙවන කඩුල්ලට ලකුණු 55ක් එක් කරන්නට සමත් විය. භානුක රාජපක්ෂ ලකුණු 34ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 24ක් රැස්කිරීමට සමත් වූහ.


අවසන් පන්දු 10 තුළදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 32ක් අවශ්‍ය විය. නමුත් නියමිත පන්දුවාර විස්ස අවසානයේදී SLC Reds කණ්ඩායමට කඩුලු 5ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153ක් පමණි. සහන් ආරචිචිගේ පන්දු 8කදී ලකුණු 19ක් රැස්කළද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවිය. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 8ක විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට SLC Greens කණ්ඩායමට හැකිවිය.


SLC Greens කණ්ඩායම : 161/6

නිරෝෂන් දික්වැල්ල* 76(56), දසුන් ශානක 21(12) අසිත ප්‍රනාන්දු 4/32, සහන් ආරචිචිගේ 1/13


SLC Reds කණ්ඩායම : 153/5

භානුක රාජපක්ෂ 34(28), ලසිත් ක්‍රෝස්පුල්ලේ 31(24) රමේෂ් මෙන්ඩිස් 1/22, නිමේෂ් විමුක්ති 1/23

67 views0 comments