• Chathura Ramanayake

SA20 ක්‍රීඩක වෙන්දේසියේ ඉහළම වටිනාකමක් හිමි ක්‍රීඩකයන් අතරට චාමිකත්..


දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලයිස්තු ගත කොට ඇති ක්‍රීඩකයන් 318 දෙනා අතුරින් ඉහළම වටිනාකමක් නියමකොට ඇති ක්‍රීඩකයන් අටදෙනෙකු පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ඒ අනුව මෙම ක්‍රීඩකයන් අට දෙනා වෙනුවෙන් නියම කොට ඇති මුදල දකුණු අප්‍රිකානු රෑන්ඩ් මිලියන 1.7කි. මෙම ක්‍රීඩකයන් අට දෙනා අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නද ඇතුළත්ය.



එම ක්‍රීඩකයන් අතරට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනුයේ ජේසන් රෝයි, ඉයන් මෝගන්, ටයිමල් මිල්ස්, අඩිල් රශීඩ්, ජිමී නීෂම්, ඕඩියන් ස්මිත් හා ජේඩ්න් සීල්ස් ය. දෙවන ඉහළම වටිනාකම එනම් දකුණු අප්‍රිකානු රෑන්ඩ් ලක්ෂ 8.5ක ක්‍රීඩක කාණ්ඩයටද රසී වැන් ඩර් ඩුසේන්, ටබ්‍රායිස් ශම්සි ඇතුළු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් 52ක් ඇතුළත්ය.


එමෙන්ම එම කාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11ක්, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් 6, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 2ක්, එංගලන්ත ක්‍රීඩකයන් 13ක්, නවසීලන්ත ක්‍රීඩකයන් 2ක් හා එක් අයර්ලන්ත ක්‍රීඩකයෙක් ඇතුළත්ය. මේ වන විටත් කණ්ඩායම් ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව ක්‍රීඩකයන් සමගින් ගිවිසුම්ගතව ඇති අතර ක්‍රීඩක වෙන්දේසියේදී සෑම කණ්ඩායමටම දකුණු අප්‍රිකානු රෑන්ඩ් මිලියන 34ක් හිමිවෙයි. මෙම ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් මස 19වනදා කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිතය.

1,771 views0 comments