• Chathura Ramanayake

MiLC තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් !!!



ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන MiLC තරගාවලියේ දෙවන අදියර පසුගිය ජුනි මස 25වනදා ආරම්භ විය. තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග මේ මස 20හා 21යන දිනවලදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේදි සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 14 බැගින් ක්‍රීඩා කළහ.


මූලික වටයේ සියලු තරග අවසානයේදී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමත් වී ඇත. Silicon Valley Strikers කණ්ඩායමට ක්‍රීඩා කරන ශෙහාන් ජයසූරිය තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ඉනීම 13ක් තුළදී ලකුණු 647ක් රැස්කරමිනි.


මෙවර තරගාවලියේ ශෙහාන්ගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 58.82ක් ලෙසින් සටහන් වද්දී 152ක ප්‍රහාරාත්මක වේගයකින් ඔහු පන්දුවට පහර දී ඇත. ශෙහාන් ජයසූරිය අර්ධ ශතක ත්‍රිත්වයක් හා ශතක ද්විත්වයක් වාර්තා කරන්නට සමත් වී ඇති අතර මෙවර තරගාවලියේ ඔහු රැස්කළ වැඩිම ලකුණ ලෙසින් ලකුණු 115ක් රැස්කිරීමට ඔහුට හැකිවිය.


ඉන්දීය හිටපු වයස අවුරුදු 19න් පහළ නායක උන්මුක්ට් චාන්ද් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පස්වන ස්ථානයේ රැදීසිටින අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රඛීම් කොන්වෝල් වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වන ස්ථානයේ රැදිසිටියි. ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු මිලන්තද මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරෙහි හයවැන්නා ලෙසින් රැදී සිටියි.


වමත් පිතිකරු ලහිරු මිලන්ත Morrisvillie Raptors කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඔහු මෙවර තරගාවලියේ තරග 12කට ක්‍රීඩා කරමින් ලකුණු 511ක් රැස්කොට ඇත්තේ අර්ධ ශතක 5ක් සමගිනි. ලහිරු මිලන්ත මෙවර තරගාවලියේදී ලකුණු 42.58ක පිතිකරණ සාමාන්‍යයක් රදවාගෙන ඇති අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 149ක් ලෙසින් සටහන් වෙයි. ශෙහාන් හා ලහිරු නියෝජනය කරන කණ්ඩායම් ද්විත්වයම අවසන් පූර්ව වටයේදී තරගවැදීමට නියමිතය.


තරගාවලියේ මූලික වටය අවසානයේ ලකුණු ලාභීන්


ශෙහාන් ජයසූරිය - 647

ඩේවිඩ් වයිට් - 607

කැටීන් ක්ලාක් - 532

රඛීම් කොන්වෝල් - 531

උන්මුක්ට් චාන්ද් - 519

ලහිරු මිලන්ත - 511

මිලින්ද් කුමාර් - 511

ෂයාන් ජහන්ගීර් - 507

ඇන්ඩ්‍රිස් ගෝස් - 498

සුජිත් ගෝව්දා - 488

1,442 views0 comments