• Chathura Ramanayake

MI Cape Town කණ්ඩායම සමගින් ප්‍රබල ක්‍රීඩකයන් පස්දෙනෙකු ගිවිසුම් ගත වෙයි !!



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් හදුන්වා දුන් නව ලීග් තරගාවලියේ කණ්ඩායමක් වන මුම්බායි කේප්ටවුන් කණ්ඩායම විසින් ගිවිසුම් ගත පළමු ක්‍රීඩකයන් 5 දෙනා නිවේදනය කොට ඇත. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව මුම්බායි කේප්ටවුන් කණ්ඩායම විසින් මෙලෙසින් ගිවිසුම් ගත ක්‍රීඩකයන් පස්දෙනා නිවේදනය කොට ඇත.


ඒ අනුව ගිවිසුම් ගත ක්‍රීඩකයන් අතරට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් දෙදෙනෙකු , එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙකු හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත්ය. එම ක්‍රීඩකයන් වනුයේ කාගිසෝ රබාඩා, ඩේවල්ඩ් බ්‍රෙවිස්, ලියම් ලිවින්ග්ස්ටන්, සෑම් කරන් හා රශීඩ් ඛාන්ය.


මෙම ලීගයේ නීති රීති වලට අනුව ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් පස්දෙනෙකු සමගින් ගිවිසුම් ගත විය යුතුය. එම ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයෙක් හා විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් ඇතුළත් විය යුතුය.


දකුණු අප්‍රිකානු නව ලීග් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම් ගත ක්‍රීඩකයන් 30කට අධික සංඛ්‍යාවකගේ නම් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දසදෙනෙකුද ඇතුළත් විය.නමුත් මුම්බායි කේප්ටවුන් කණ්ඩායම හැර අන් කිසිදු කණ්ඩායමක් ගිවිසුම්ගත ක්‍රීඩකයන් පිළිබඳව තවමත් නිවේදනය කොට නැත. එමෙන්ම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉදිරි සති කිහිපය තුළදී පැවැත්වෙන බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.

596 views0 comments