• Chathura Ramanayake

ILT20 ලීගයට අත්සන් තබන වටිනාම ක්‍රීඩකයන් අතරට තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ලීග් ක්‍රිකට් පිටියට නව තරගාවලියක් හදුන්වා දී ඇත. එම නව විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් අත්සන් කිරීමට නියමිත ක්‍රීඩකයන්ගේ ලයිස්තුවක් පසුගියදා ප්‍රකාශයට පත් කළහ. එම ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඇතුළත් වූ අතර වැඩිම වටිනාකමකින් යුතු ක්‍රීඩකයන් අතරට වනිදු , චමීර හා භානුක ඇතුළත් විය.


අද දිනයේදී එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය වෙනුවෙන් එක්වන තවත් වටිනාම ක්‍රීඩකයන් හයදෙනෙකුගෙන් නම් ප්‍රකාශයට පත් කොට ඇත. එම ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක දසුන් ශානකද ඇතුළත් වී ඇත.


තවද එම ක්‍රීඩකයන් අතරට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන කිරන් පොලාඩ්, ඩ්වේන් බ්‍රාවෝ, නිකලස් පූරන් යන ක්‍රීඩකයන්ද ඇතුළත්ය. එංගලන්ත ක්‍රීඩක ඔලී පෝප් හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක ෆස්ලාහ් ෆරූකි යන ක්‍රීඩකයන්ද එම වටිනාම ක්‍රීඩකයන් හයදෙනා අතරට ඇතුළත්ය.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට්හි ලේකම් මුබාෂ්ෂිර් උස්මානි ලීගයට එක්වන නවතම ක්‍රීඩක ලැයිස්තුව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ILT20 තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල ගුණාත්මක භාවය පිළිබඳව ඔවුන්ගේ කණ්ඩායම පැහැදී සිටින බවයි. වටිනාම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව තවත් ඉහළ යාම සම්බන්ධයෙන් ඔවුන් ඉතා සතුටු වන බවද ඔහු සදහන් කොට ඇත.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අද දිනයේදී තරගාවලිය වෙනුවෙන් එක්වීමට නියමිත තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ නම් නිවේදනය කොට ඇත. ඒ අතරට විල් ස්මීඩ්, රෙහාන් අහමඩ්, ජෝඩ්න් තොම්සන්, ශෙල්ඩන් කොට්‍රල්, ඇන්ඩ්‍ර ෆ්ලෙචර්, ටොම් කැඩ්මෝර්, බස් ද ලීඩ්,ක්‍රිස් බෙන්ජමින් හා බිලාල් ඛාන් යන ක්‍රීඩකයන් ඇතුළත්ය.

81 views0 comments