• Chathura Ramanayake

ICC මාසික ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් ජූලි මාසයට නිර්දේශිත නාමයන් !!!




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සෑම මසකට වරක්ම ICC මාසික ක්‍රීඩකයා නම් කරනු ලබයි. මෙම මාසික ක්‍රීඩකයා තේරීම සදහා ප්‍රේක්ෂකයන්ටද අවස්ථාව හිමිවෙයි. පසුගිය ජූලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව ICC මාසික ක්‍රීඩකයා සදහා මෙවරද ක්‍රීඩකයන් තිදෙනකු නිර්දේශ කොට ඇත. ඒ අනුව එම ක්‍රීඩකයන් අතරට ජොනී බෙයාස්ටෝ, ප්‍රභාත් ජයසූරිය හා ගස්ටව් මැකියොන් ඇතුළත්ය.


ජොනී බෙයාස්ටෝ

මෙම වසරේ ජූනි මාසයේදීද ICC මාසික ක්‍රීඩකයා සම්මානය හිමිකරගත් ජොනී බෙයාස්ටෝ ජූලි මාසය වෙනුවෙන්ද දක්ෂතම ක්‍රීඩකයන් තිදෙනා අතරට නිර්දේශ වී ඇත. ජොනී බෙයාස්ටෝ ඉන්දියාව සමගින් පැවති පස්වන ටෙස්ට් තරගයේදී ජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කරමින් නොදැවුනු ලකුණු 114ක් රැස්කිරීමට සමත් විය. එම තරගයේ එංගලන්ත පළමු ඉනීමේදීද ලකුණු 106ක් රැස්කිරීමට ඔහුට හැකිවිය. දකුණු අප්‍රිකාව සමගින් පැවති පළමු එක්දින තරගයේදීද ලකුණු 63ක් රැස්කිරීමට ජොනී බෙයාස්ටෝ සමත් විය. එමෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේදීද පන්දු 53කදි ලකුණු 90ක් රැස්කිරීමට ඔහුට හැකිවිය.


ප්‍රභාත් ජයසූරිය

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පසුගිය මාසයේදී ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රභාත් ජයසූරිය සිය පළමු තරගයේදීම කඩුලු 12ක් දවාගනිමින් වාර්තා පොත් අතරට එක් වන්නටද සමත් විය. අනතුරුව පාකිස්තාන කණ්ඩායම සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේදීද තරග 2 තුළ කඩුලු 17ක් දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් විය. ඒ අනුව පසුගිය මාසයේදී ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 3දී කඩුලු 29ක් බිදහෙලන්නට ඔහු සමත් වූයේ වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වෙමිනි


ගස්ටව් මැකියොන්

ප්‍රංශ ක්‍රීඩක ගස්ටව් මැකියොන්ද ජූලි මාසය වෙනුවෙන් ICC මාසික ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩකයන් අතරට ඇතුළත්ය. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ යුරෝපීය උපමහද්වීපික තරගාවලියේදී චෙක් ජනරජයට එරෙහිව මංගල විස්සයි විස්ස තරගයට ගස්ටව් මැකියොන් ක්‍රීඩා කළේය. එහිදී ලකුණු 76ක් රැස්කිරීමට ඔහු සමත් විය. 18 හැවිරිදි ගස්ටව් මැකියොන් ස්විට්සර්ලන්තයට එරෙහිව ලකුණු 109ක් රැස්කළේ ලාබාලතම විස්සයි විස්ස ජාත්‍යන්තර ශතක ලාභියා බවට පත් වෙමිනි. එමෙන්ම නෝර්වේ කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස්කිරීමට ඔහු සමත් වූයේ පිට පිට ජාත්‍යන්තර විස්සයි විස්ස ශතක 2ක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවටද පත් වෙමිනි. එමෙන්ම පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම් 3දී වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නට ඔහු සමත් වූයේ ඉනීම 3හිදී ලකුණු 286ක් රැස්කරමිනි. එස්ටෝනියාවට එරෙහිව තවත් ලකුණු 87ක් රැස්කිරීමට ඔහු සමත් වූ අතර පන්දුවෙන්ද දස්කම් පාමින් නෝර්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 27ට කඩුලු 3ක් බිදහෙලීය.

96 views0 comments