• Chathura Ramanayake

Guyana Warriors කණ්ඩායම RCB කණ්ඩායම සතු වාර්තාවක් සමීපයටම


කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 25වන තරගය ගයානාහිදී පැවැත්විණි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගයානා වොරියස් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් විය. එහිදී ශායි හෝප් පන්දු 45කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 60ක් රැස්කිරීමට සමත් විය.


මෙම තරගයේ අගභාගයේදී වේගවත් පිතිහරඹයක් දියත් කරන්නට ගයනා වොරියස් ක්‍රීඩකයන් වගබලාගත්තේ අවසන් පන්දුවාර තුන තුළදී ලකුණු 74ක් රැස්කරමිනි. ඒ අනුව මෙය විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ අවසන් පන්දුවාර 3 තුළ කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු ගණන ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.



ඕඩියන් ස්මිත් පන්දු 16කදී දැවැන්ත හයේ පහර 6ක් සමගින් ලකුණු 42ක් රැස්කරද්දී කීමෝ පෝල් පන්දු 12ක් තුළ ලකුණු 24කින් හා ජූනියර් සින්ක්ලෙයාර් එක් පන්දුවකදී හයේ පහරක් එල්ල කරමින් මෙම වාර්තාව පිහිටුවීමට දායක විය.


විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ අවසන් පන්දුවාර තුන තුළදී වැඩිම ලකුණු රැස්කොට ඇත්තේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. ඔවුන් 2016 වසරේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාර තුන තුලදී ලකුණු 75ක් රැස්කොට ඇත.


විස්සයි විස්ස පිටියේ අවසන් පන්දුවාර තුන තුළ වැඩිම ලකුණු රැස්කළ තෙවන කණ්ඩායම වනුයේ චිතගොන් චැලේන්ජර්ස් කණ්ඩායමයි. ඔවුන් 2019 වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කමිලා වොරියස් කණ්ඩායමට එරෙහිව ලකුණු 72ක් රැස්කොට ඇත.


ගයානා වොරියස් කණ්ඩායම ලබාදුන් ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ජැමෙයිකා තල්වාස් කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි. එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං පන්දු 66කදී හතරේ පහර 8ක් හා හයේ පහර 7ක් සමගින් ලකුණු 104ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය. තරගයේ වීරයා ලෙසින් ඕඩියන් ස්මිත් සම්මාන ලැබීය.

29 views0 comments