• Shaminda Jayarathne

All Blacks ට එරෙහිව Springboks ගෙන් ප්‍රහාරයක්!

The Rugby Championship තරඟාවලිය යටතේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වූ පළමු තරඟය අවසන් වුයේ දකුණු අප්‍රිකාවට 26-10 ක් වශයෙන් පහසු ජයග්‍රහණයක් හිමිකරදෙමින්.


මෙම තරඟය දකුණු අප්‍රිකාවේ Nelspruit හි Mbombela ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක වුණා. තරඟය ආරම්භයේදීම උත්සාහ දිනුමක් වාර්තා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩක Krut-Lee Arendese විසින් 7-0 ක් ලෙසින් ඔවුන්ව ඉදිරියට රැගෙන ආවා. අනතුරුව දඬුවම් පහරක්ද දකුණු අප්‍රිකානුවන් සාර්ථක කර ගත්තා. පළමු අර්ධයේදී නවසීලන්තයට සාර්ථක කර ගැනීමට හැකි වූයේ එක් දඬුවම් පහරක් පමණයි. ඒ අනුව 10-3 ක් ලෙසින් තරඟයේ පළමු අර්ධය නිමාව දුටුවා.


දෙවන අර්ධයේදී දකුණු අප්‍රිකාව දඬුවම් පහර දෙකක් සහ ඩ්‍රොප් ගෝලයක්ද ලබා ගනිමින් 19-3 ක් වශයෙන් නවසීලන්තය දෙසින් තරඟය තවදුරටත් ඈත් කිරීමට සමත් වුණා. නමුත් අවසන් මිනිත්තු කිහිපයේදී ක්‍රියාත්මක වුණ Shannon Frizell විසින් නවසීලන්තය වෙතට උත්සාහක දිනුමක් වාර්තා කළා. එය සාර්ථකව ගෝල දිනුමක් බවට පත් වූ හෙයින් නවසීලන්තය 19-10 ක් ලෙසින් තරඟයේ ලකුණු පරතරය අඩු කර ගැනීමට සමත් වුණා.


නමුත් තරඟයේ අවසන් මොහොතේදී නැවත වතාවක් නවසීලන්ත ක්‍රීඩකයන්ගෙන් ඇතිවූ අත්වැරැද්දක් ප්‍රයෝජනයට ගත් දකුණු අප්‍රිකානුවන් තවත් උත්සාහ දිනුමක් වාර්තා කළේ 26-10 ක් ලෙසින් ජයග්‍රහණය තහවුරු කරගනිමින්. ඒ අනුව දකුණු අප්‍රිකාව දෙරට අතර පැවති මුල්ම තරඟය ජයග්‍රහණය කළා.


දකුණු අප්‍රිකාව වෙනුවෙන් Handre Pollard ලකුණු 16ක් රැස් කිරීමත් විශේෂත්වයක්. ඔහු මෙම තරඟයේදී තම රග්බි දිවියේ නවසීලන්තයට එරෙහිව වාර්තා කළ ලකුණු 100 සම්පූර්ණ කිරීමටද සමත් වුණා. නවසීලන්තය මෙම පරාජයත් සමග තමන් සහභාගී වූ අවසන් රග්බි තරඟ 6න් 5ක් ම පරාජයට පත් වී තිබෙනවා. දෙරට අතරේ පැවැත්වෙන මීළඟ තරඟය එළඹෙන 13 වනදා ජොහැන්ස්බර්ග් හීදි පැවැත්වීමට නියමිතයි.

42 views0 comments