• Chathura Ramanayake

88වන සාන්තුවරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි !!!



මරදාන සාන්ත ජෝපස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 88වන සාන්තුවරයන්ගේ සටන ජයපරාජයෙන් තොරව අවසන් විය. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සාන්ත පීතර නායක වනුජ සහන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන සාන්ත පීතර ක්‍රීඩකයන් පළමු ඉනීමට කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවන්නට තීරණය කළේය. සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් පළමු ඉනීමේදී ශෙනාල් බොතේජු ලකුණු 81ක්ද, දනාල් හේමනන්ද නොදැවී ලකුණු 55ක්ද රැස්කිරීමට සමත් විය.


පන්දු යැවීමේදී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක බැගින් බිදහෙලීය. අනතුරුව සිය පළමු ඉනීම වෙනුවෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163ක් පමණි. සාන්ත ජෝසප් පළමු ඉනීමේදී ශෙවෝන් ඩැනියෙල් ලකුණු 71ක් රැස්කළේය.පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 63ට කඩුලු 4ක් හා ශෙනෝන් රොද්‍රිගු කඩුලු 3ක් දවාගැනීමට සමත් වූහ.


පළමු(ඊයේ) දිනයට තරගය නතර කරන විට සාන්ත පීතර ක්‍රීඩකයන් සිය දෙවන ඉනීම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 35ක් රැස්කොට සිටියහ. අද දිනයේදී සිය දෙවන ඉනීමට තවත් ලකුණු 197ක් එක් කරන්නට සාන්ත පීතර ක්‍රීඩකයන් වගබලාගත්හ. ඒ අනුව සාන්ත පීතර කණ්ඩායමේ අබිලාෂ් දිනකාර ලකුණු 61ක් හා ලහිරු දවටගේ ලකුණු 53ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට විය. සාන්ත පීතර ක්‍රීඩකයන් කඩුලු 7ක් දැවී ලකුණු 232ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටවූයේ ලකුණු 321ක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. සාන්ත පීතර දෙවන ඉනීමේදී ලකුණු 80කට කඩුලු 5ක් දවාගැනීමට ශෙවෝන් ඩැනියෙල්ට හැකිවිය.


එම ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන සාන්ත ජෝසප් කණ්ඩායමේ ආරම්භ පිතිකරු සදීශ් ජයවර්ධන අගනා ඉනීමක් ක්‍රීඩා කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කිරීමට සමත් විය. සදීශ් පන්දු 189කදී හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 103ක් රැස්කරද්දී පිතිකරණයේ නියැලුණු සෙසු පිතිකරුවන් ලකුණු 20 සීමාව ඉක්මවන්නට අපොහොසත් විය. අද දිනයට තරගය අවසන් කරන විට පන්දුවාර 58ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් රැස්කිරීමට සාන්ත ජෝසප් කණ්ඩායමට හැකිවිය. ඒ අනුව 88වැනි සාන්තුවරයන්ගේ සටන ජයපරාජයෙන් තොරව අවසන් විය.


සාන්ත පීතර පළමු ඉනීම - 251/8d (60)

ශෙනාල් බොතේජු 81(136) (4*10,6*1), දනාල් හේමනන්ද* 55(58) (4*2, 6*2), ශන්ශේ ගුණතිලක 47(46) (4*3, 6*2)

ශෙවෝන් ඩැනියෙල් 3/67, දුනිත් වෙල්ලාලගේ 3/92


සාන්ත ජෝසප් පළමු ඉනීම - 163/10 (45.1)

ශෙවෝන් ඩැනියෙල් 71(93) (4*7, 6*4), දුනිත් වෙල්ලාලගේ 36(26) (4*3, 6*2)

වනුජ සහන් 4/63, ශෙනෝන් රොද්‍රිගු 3/26


සාන්ත පීතර දෙවන ඉනීම - 232/7d (59.5)

අබිලාෂ් දිනකාර 61(134) (4*2), ලහිරු දවටගේ 53(65) (4*6)

ශෙවෝන් ඩැනියෙල් 5/80, ලහිරු අමරසේකර 1/42


සාන්ත ජෝසප් දෙවන ඉනීම - 163/5 (58.0)

සදීශ් ජයවර්ධන* 103(189) (4*11), හිරාන් ජයසුන්දර* 19(63)

නිමාන් උදේෂ් 1/17

0 views0 comments