• Shaminda Jayarathne

2025 වන විට රටවල් තුන හතරක් පමණක් ටෙස්ට් ක්‍රීඩා කරාවි - පීටර්සන්


වර්ෂ 2025 වන විටදී ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් හැරුණ විටදී අනෙකුත් රටවල් ටෙස්ට් ක්‍රීඩා කිරීමෙන් බැහැරව යනු ඇතැයි තමන් විශ්වාස කරන බවට හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටසර්සන් විසින් ප්‍රකාශ කොට තිබෙනවා. ඔහු විසින් මෙය ප්‍රකාශ කොට තිබෙන්නේ වර්තමානයේදී පවතින විස්සයි විස්ස ලීග් සහ කෙටි තරඟ කෙරෙහි ක්‍රිකට් ක්‍රිඩාව වැඩි වශයෙන් යොමු වී තිබීම නිසාවෙන්.


2025 වන විටදී අලු බඳුන තරඟාවලිය, ඉන්දියාව සහ එංගලන්තය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායම් සහභාහී වන ප්‍රධාන ටෙස්ට් තරඟාවලි හැරුණ විටදී වෙනත් තරඟාවලි පැවැත්වෙනු නොමැති බවට පීටසර්සන් තම ප්‍රකාශයේ සඳහන් කොට තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එක හා සමාන ආකාරයෙන් ටෙස්ට් තරඟ ආකෘතිය තම රට තුළ පවත්වා ගැනීමට නොහැකි වී යනු ඇති බවයි.


වර්තමානයේදී තමන්ගේ පුත්‍රයාද කැමතිම ක්‍රිකට් ක්‍රීඩා රටාව The 100 බවත් ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වන්නේ ක්‍රිස් ජෝර්ඩන් බවත් පීටසර්සන් කියා සිටිනවා. වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කොට සිටින්නේ වර්තමානයේදී තරුණ පරපුරට අවශ්‍ය ඉක්මනින් නිමා වන තරඟ ආකාරයේ ක්‍රිකට් බවත් ඔවුන් ටෙස්ට් ක්‍රිකට් වලින් ඈත්ව යාම මේ සිදුවීම ඇති කිරීමට ප්‍රධානතම සාධකය වනු ඇති බවත් ය.


මෙයට විශේෂ උදාහරණයක් ද ලබා දෙන කෙවින් පීටසර්සන් විසින් දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරඟ මාලාව දකුණු අප්‍රිකා විස්සයි විස්ස ලීග් තරඟාවලිය නිසා කල් දැමීමට තීරණය කිරීමද පෙන්වා දෙනවා.

160 views0 comments