• Shaminda Jayarathne

1986 දී ශ්‍රී ලංකාව කුළුඳුල් ආසියානු කුසලාන පහස ලැබූ හැටි!

ආසියානු කුසලාන තරඟාවලියේ මීළඟ ආසියානු කුසලානය තවත් නොබෝ දිනකින් ඩුබායි රාජ්‍යයේදී ආරම්භ වනවා. ශ්‍රී ලංකාව මෙතෙක් ජයග්‍රහණය කොට ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 5ක්. එහි පළමු ජයග්‍රහණය 1986 වර්ෂයේදී සටහන් වුණා.


මූලික වටය


එවර ආසියානු කුසලානය සඳහා සහභාගී වුණේ කණ්ඩායම් 3ක් පමණයි. ඒ ශ්‍රී ලංකාව පාකිස්තානය සහ බංග්ලාදේශය වශයෙන්. තරඟාවලිය ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වුණා. තම පළමු තරඟයට පාකිස්තානය සමග එක්වූ ශ්‍රී ලංකාව එම තරඟය ලකුණු 81කින් පරාජයට පත් වුණා. මෙම තරඟාවලිය පන්දුවාර 45 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමද විශේෂත්වයක්.


පාකිස්තානය මුලින්ම පන්දුවට පහර දී ලකුණු 197ක් රැස් කළා. මොශින් කාන් ලකුණු 39ක් වාර්තා කරගනිද්දී පන්දුවෙන් දස්කම් දැක්වූ රවී රත්නායක කඩුලු 3ක් බිඳ හෙලුවා. කෙසේ වුවත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 116 කට සීමා වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රෙන්ඩන් කුරුප්පු රැස් කළ ලකුණු සංඛ්‍යාව 34ක්. පාකිස්තානය වෙනුවෙන් මන්සූර් එලාහි කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා.

මූලික වටයේ දෙවන තරඟයට ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමගින් ක්‍රීඩා කළා. මෙහිදී මුලින්ම පන්දුවට පහර දුන් බංගලදේශ ඉනිම නියමිත පන්දුවාර 45 අවසානයේදී කඩුලු 8 කට ලකුණු 131 කින් සීමා වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කෞශික් අමලීන් ලකුණු 15 කට කඩුලු 2ක් බිඳ හෙලුවා.


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 31.3 ක් අවසානයේ කඩුලු 3ක් පමණක් බිඳ වැටී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසංක ගුරුසිංහ ලකුණු 44ක් වාර්තා කළ අතරම ඔහු තරඟයේ වීරයාද වුණා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා අවසන් මහා තරඟ ස්ථානයද තහවුරු වුණා.


අවසන් මහා තරඟය


පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරඟයේදී පාකිස්තානය මුලින්ම පන්දුවට පහර දීමට කටයුතු කළා. ජාවෙඩ් මියැන්ඩාඩ් රැස් කළ ලකුණු 67 ක ඉනිමත් සමග පාකිස්තානය නියමිත පන්දුවාර 45 අවසානයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 191ක්. නැවතත් සාර්ථක වූ කෞශික් අමලීන් ලකුණු 46 කට පාකිස්තාන කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.



තරඟාවලිය පුරාවට දක්ෂ පන්දු යැවීමක් පෙන්වූ ශ්‍රී ලංකාවේ රවී රත්නායක


පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 3 ලකුණු 64ක් තුළදී බිඳ වැටුණත් අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා 4 වන කඩුල්ලට ගොඩනැගූ වටිනා ලකුණු 97 ක සබඳතාවය ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. අරවින්ද පන්දු 67 කදී ලකුණු 52ක් වාර්තා කරද්දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අර්ජුණ පන්දු 55 කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක්ද සමග ලකුණු 57ක් වාර්තා කිරීමට සමත් වුණා.


අරවින්ද ගේ සහ අර්ජුණ ගේ දැවී යාමෙන් අනතුරුව ජයග්‍රහණය තහවුරු කළ දුලිප් මෙන්ඩිස් නොදැවී ලකුණු 22ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකාව පන්දුවාර 42.1 ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී අදාල ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කුළුඳුල් ආසියානු කුසලාන පහස ප්‍රේක්ෂකයන් වෙතට ලබා දෙමින්. කෙසේ වුවත් අවසන් මහා තරඟයේ වීරයා ලෙසින් ලකුණු 67ක් වාර්තා කළ පාකිස්තානයේ ජාවෙඩ් මියැන්ඩාඩ් ව නම් වුණා. තරඟාවලියේ වැඩිම ලකුණු මෙන්ම අවසන් තරඟයේ වටිනා ඉනිමක් දියත් කළ අර්ජුන රණතුංගව තරඟාවලියේ වීරයා ලෙසින් නම් කිරීමටද කටයුතු කළා.

573 views0 comments