• Chathura Ramanayake

143වන නිල් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි !!!



ලොව දෙවන පැරණිතම පාසල් ක්‍රිකට් ගැටුම ලෙසින් සැලකෙන රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ දිනයේදී නිමාවට පත් වූයේ ජයපරාජයෙන් තොරවයි. කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පසුගිය 21වනදා ආරම්භ වූයේ 143වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයයි. මහාමාන්‍ය ඩී එස් සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය හිමිකරගත් රාජකීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන් සිය පළමු ඉනීම වෙනුවෙන් පන්දුවාර 106 පන්දු 2ක් තුළ සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 242ක් රැස්කිරීමට සමත් විය. සාන්ත තෝමස් විද්‍යාලයීය පළමු ඉනීමේදී සෙනේෂ් හෙට්ටිආරච්චි ලකුණු 55ක් හා චාරුක පීරිස් ලකුණු 51ක් රැස්කළහ. පන්දු යැවීමේදී ගිහාන් බාලසූරිය කඩුලු 3ක්ද සන්දේෂ් රාමනායක හා රුමිරු පෙරේරා කඩුලු 2 බැගින්ද බිදහෙලීය.


සිය පළමු ඉනීම ඇරඹූ රාජකීය විද්‍යාලය අවසන් දිනය වූ ඊයේ දිනය ආරම්භ කරන විට  පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 4කට ලකුණු 136ක් රැස්කොට තිබුණි. රාජකීය විද්‍යාලය වෙනුවෙන් උවිදු වීරසේකර නොදැවී ලකුණු 62ක් ලබාගෙන දිනය ආරම්භයේදී පන්දුවට පහරදීමට පැමිණියේය. නමුත් ඊයේ දිනයේදී උවිදු වීරසේකර තවත් ලකුණු 4ක් පමණක් රැස්කොට සිටියදී දවාගැනීමට කවිදු ඩයස් සමත් විය. අනතුරුව රුමිරු හා නෙතිල් රාජකීය ඉනීමට තවත් ලකුණු 34ක් හා 27ක් එක් කරන්නට සමත් විය. පන්දුවාර 70 පන්දු 4ක් අවසානයේදී රාජකීය විද්‍යාලය කඩුලු 8කට ලකුණු 219ක් රැස්කොට සිටියදී සිය පළමු ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කවිදු ඩයස් ලකුණු 65කට ප්‍රතිවාදී කඩුලු 4ක් දවාගත්තේය.


අනතුරුව සිය දෙවන ඉනීම ඇරඹූ සාන්ත තෝමස් පිළේ මුල්පෙල කඩුලු තුන ලකුණු 23ක් තුළ බිදවැටුනි. නමුත් අංක හතර පිතිකරු ලෙසින් පිටියට එක්වන රයන් ප්‍රනාන්දු සෙසු මැදපෙළ පිතිකරුවන් සමග එක්ව දෙවන ඉනීම ගොඩනගන්නට විය. ඊයේ දිනය අවසානයේදී සාන්ත තෝමස් විද්‍යාලය සිය දෙවන ඉනීමට කඩුලු 6ක් දැවී ලකුණු 142ක් රැස්කොට සිටියහ. සාන්ත තෝමස් දෙවන ඉනීමේදී රයන් ප්‍රනාන්දු හතරේ පහර 10ක් සමගින් ලකුණු 74ක් රැස්කරද්දී සෙනේෂ් හෙට්ටිආරච්චි ලකුණු 26ක් රැස්කිරීමට සමත් විය. දෙවන ඉනීමේදීද කඩුලු 3ක් දවාගැනීමට ගිහාන් බාලසූරියට හැකිවිය. ඒ අනුව 143වන නිල් මහා සටන ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.


සාන්ත තෝමස් පළමු ඉනීම - 242/10 සෙනේෂ් හෙට්ටිආරච්චි 55(118), චාරුක පීරිස් 51(151), මහිත් පෙරේරා 33(83) ගිහාන් බාලසූරිය 3/56, සන්දේෂ් රාමනායක 2/16, රුමිරු පෙරේරා 2/36


රාජකීය පළමු ඉනීම - 219/8 d උවිදු වීරසේකර 66(109), රුමිරු පෙරේරා 34(114) ), සිනෙත් ජයවර්ධන 32(38) කවිදු ඩයස් 4/65, ගුණරත්නම් කනිස්ටන් 2/67,  ජනිදු අබේගුණවර්ධන 1/6


සාන්ත තෝමස් දෙවන ඉනීම - 146/6 රයන් ප්‍රනාන්දු 74(117), සෙනේෂ් හෙට්ටිආරච්චි 26(65) ගිහාන් බාලසූරිය 3/56, සදීෂ රාජපක්ෂ 2/30

0 views0 comments