• Chathura Ramanayake

ෆැෆ්, අලී හා ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සුපුරුදු හිමිකරුවන් යටතට ?



දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හදුන්වා දුන් නව ලීග් තරගාවලිය එළඹෙන ජනවාරි මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් එක්වන ක්‍රීඩකයන් අතුරින් ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයන් 5 දෙනෙකු එක් කර ගැනීමට අවස්ථාව හිමි වෙයි. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් හිමිකරුවන්ගේ දකුණු අප්‍රිකානු ලීග කණ්ඩායම වන ජොහැන්ස්බර්ග් කණ්ඩායමට ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් කරගන්නා ක්‍රීඩකයන් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.


චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ලීග් කණ්ඩායම වන ජොහැන්ස්බර්ග් කණ්ඩායමට හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩුප්ලෙසිස් එක් කොට ගෙන ඇති බවට වාර්තා වෙයි. ඊට අමතරව එක්සත් අරාබි එමීර් ලීගයේ වටිනාම ක්‍රීඩකයන් අතර රැදී සිටි මොයීන් අලිද ජොහැන්ස්බර්ග් කණ්ඩායමට එක් කරගැනීමට නියමිතය.


තවද ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණද ක්‍රීඩක වෙන්දේසියට පෙර ජොහැන්ස්බර්ග් කණ්ඩායම සමගින් එක් කොට ගැනීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. කණ්ඩායමට එක්කොට ගැනීමට නියමිත විදෙස් ක්‍රීඩකයා බවට පත් ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.


සෑම කණ්ඩායමක්ම ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයෙක් හා විදෙස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් කණ්ඩායමට එක් කොට ගත යුතුය. ෆැෆ් ඩුප්ලෙසිස්,මොයීන් අලි හා මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයන් තිදෙනාම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කොට ඇත.


එමෙන්ම අනිකුත් කණ්ඩායම්ද එක් කොට ගැනීමට සූදානමින් පසුවන ක්‍රීඩකයන් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

ලක්නව් හිමිකාරීත්වයට අයත් ඩර්බන් කණ්ඩායම ක්වින්ටන් ඩි කොක්ද, හයිද්‍රාබාද් හිමිකාරීත්වය සතු පෝට් එලිසබත් කණ්ඩායමට ඒඩ්න් මක්‍රම්ද,දිල්ලි හිමිකරුවන්ට අයත් ප්‍රිටෝරියා කණ්ඩායමට ඇන්‍රිච් නෝකියාද, රාජස්ථාන් හිමිකරුවන්ට අයත් පර්ල් කණ්ඩායම වෙනුවෙන් ජෝස් බට්ලර් හා ඩේවිඩ් මිලර්ද එක් කොට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

2,331 views0 comments