• Shaminda Jayarathne

ෆෙරාරි කණ්ඩායමේ අත් වැරදීම් රෙඩ්බුල් ජයග්‍රහණය තහවුරු කරයි!

ඊයේ දින නිමාවූ ප්‍රංශ ගෝන් ප්‍රී අදියර ජයග්‍රහණය කරමින් රෙඩ්බුල් ක්‍රීඩක මෙන්ම වර්තමාන ලෝක ශූර මැක්ස් වර්ස්ටාපන් තමන්ගේ ප්‍රසාද ලකුණු සටහන තවත් ඉදිරියට ගෙන ඒමට සමත් වුණා. මෙවර තරඟවාරයේ 12 වන අදියර ලෙසින් ප්‍රංශ අදියර ක්‍රියාත්මක වද්දී වර්ස්ටාපන් ලැබූ 7 වන ජයග්‍රහණය ලෙසින් මෙය සටහන් කළ හැකියි. ෆෙරාරි කණ්ඩායමේ දිගින් දිගටම ඇතිවන මෝටර් රථයේ දෝෂයන් නිසාවෙන් තරඟයේ මුල් ස්ථානයේ ගමන් කළ ශෝල් ලෙක්රෙක් අනතුරට පත් වී අතරමගදී තරඟය නිමා කළා.


ලෙක්රෙක් මෙවර තරඟවාරයේ 7 වන හොඳම කාල ගණනය සටහන් කළත් අවාසනාව දිගින් දිගටම ඔහුට හරස් වෙමින් පවතිනවා. මොනාකෝ ජාතිකයා තරඟවාරයේ තෙවන වතාවට මෙලෙස අතරමගදී තරඟය නවතා දමමින් ධාවනය අවසන් කිරීමත් විශේෂත්වයක්. 7 වතාවක් ලෝක ශූරයා වූ මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් ප්‍රංශ අදියරේ දෙවන ස්ථානයට පත් වුණා. මේ වසරේ ඔහු ගෝන් ප්‍රී අදියරක දැක්වූ හොඳම දක්ෂතාවයද එය වනවා. තෙවන ස්ථානයද මර්සිඩීස් ක්‍රීඩක ජෝර්ජ් රසල් හට හිමි වුණා.


පිළිවෙලින් සිව්වන ස්ථානය රෙඩ්බුල් ක්‍රීඩක සර්ජියෝ පෙරෙස්, පස්වන ස්ථානය ෆෙරාරි ක්‍රීඩක කාලෝස් සයින්ස්, හයවන ස්ථානය ඇල්පයින් ක්‍රීඩක ෆර්නැන්ඩෝ ඇලන්සෝ, හත්වන ස්ථානය මැක්ලරන් ක්‍රීඩක ලැන්ඩෝ නොරිස්, අටවන ස්ථානය ඇල්පයින් ක්‍රීඩක ඒස්ටබාන් ඔකෝන්, නමවන ස්ථානය මැක්ලරන් ක්‍රීඩක ඩැනියල් රිකාඩෝ සහ දසවන ස්ථානය ඇස්ටන් මාටින් ක්‍රීඩක ලාන්ස් ස්ට්‍රෝල් වශයෙන් දිනා ගනිමින් ප්‍රසාද ලකුණු හිමිකරගත්තා.


තවදුරටත් තම ප්‍රසාද ලකුණු සටහනේ පරතරය වැඩි කරගත් මැක්ස් වර්ස්ටාපන් ලකුණු 233ක් සමගින් පෙරමුණේ රැඳී සිටිනවා. දෙවන ස්ථානය ලකුණු 170ක් සමගින් ෆෙරාරි ක්‍රීඩක ශෝල් ලෙක්රෙක් ට හිමියි. කණ්ඩායම් ශූරතාවයේ ප්‍රසාද ලකුණු 396ක් සමගින් රෙඩ්බුල් කණ්ඩායම ඉදිරියෙන් පසු වද්දී ලකුණු 314ක් ලැබූ ෆෙරාරි කණ්ඩායම ඔවුන්ට පිටුපසින් රැඳී සිටිනවා.

20 views0 comments