• Chathura Ramanayake

හිටපු පාකිස්තාන විනිසුරුවරයා ජීවන රඟමඩලට සමු දෙයි


හිටපු පාකිස්තාන විනිසුරුවරයකු වූ අසාඩ් රවුෆ් අද දිනයේ ලාහෝර්හිදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 66 හැවිරිදි වියෙහි පසුවූ අසාඩ් රවුෆ් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල විනිසුරුවරයකු වූ අසාඩ් රවුෆ් ටෙස්ට් තරගයන්හිදී පිටියේ විනිසුරු ලෙසින් තරග 49ක් හා තෙවන විනිසුරු ලෙසින් තරග 15ක් විනිශ්චය කොට ඇත. එමෙන්ම ජාත්‍යන්තර එක්දින තරග 139ක් හා විස්සයි විස්ස තරග 28කදීද විනිසුරුවරයකු ලෙසින් අසාඩ් රවුෆ් සිය කාර්‍යභාරය නොපිරිහෙලා ඉටුකළේය.



අසාඩ් රවුෆ් 2000 දශකයේ මැදභාගයේදී පාකිස්තානය තුළ වඩාත් කැපී පෙනෙන විනිසුරුවරයකු බවට පත් විය. ඔහු 2006 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රභූ විනිසුරු මඩුල්ලටද උසස්වීම් ලැබීය.2000 වසරේදී ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගයෙන් සිය ජාත්‍යන්තර විනිසුරු දිවිය අරබණ අසාඩ් රවුෆ් වසර 13ක් පුරාවට විනිසුරුවරයකු ලෙසින් කටයුතු කළේය.


2013 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ සිදුවීමකට මුම්බායි පොලීසිය විසින් අසාම් ඩ් රවුෆ් චූදිතයෙකු ලෙසින් නම් කොට තිබුණි. එම වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන්ද ඔහුව ඉවත් කළ අතර ප්‍රභූ විනිසුරු මණ්ඩලයෙන්ද ඔහුව ඉවත් කෙරිණි.


අනතුරුව 2016 වසරේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චෝදනා හතරක් යටතේ අසාඩ් රවුෆ්ට වසර 5ක තහනමක් පැනවීය. අසාඩ් රවුෆ් පාකිස්තාන පළමු පෙළ පිටියේදී තරග 71කට ක්‍රීඩා කොට ඇති ක්‍රීඩකයෙක්ද විය.

251 views0 comments