• Chathura Ramanayake

හොංකොං පිළට එරෙහිව දැවැන්ත ජයක් ලැබූ පාකිස්තානය අවසන් හතරට !!



ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරෙහි තරග වටයට සුදුසුකම් ලැබීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ දිනයේදී සමත් විය. ඒ හොංකොං කණ්ඩායම සමගින් පැවති තරගයෙන් ලකුණු 155ක දැවැන්ත ජයක් හිමිකරගනිමිනි. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරෙහි තරග වටයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය තරග වැදීමට නියමිතය.


හොංකොං කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය හිමිකරගත් හොංකොං පිළ පලමුවෙන් පන්දු යැවීම තෝරාගත්හ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු බාබර් අසාම් ලකුණු 8කදී දවාගැනීමට එෂාන් ඛාන් සමත් විය. අනතුරුව දෙවන කඩුල්ලට ෆකර් සමාන් හා මොහොමඩ් රිස්වාන් ලකුණු 116ක සබදතාවක් ගොඩනගන්නට විය.


ෆකර් සමාන් පන්දු 41කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ කඩුල්ලද බිදහෙලූයේ එෂාන් ඛාන් විසින්මය. අවසන් පන්දුවාර කිහිපය තුළ වේගවත් පිතිහරඹයක් දියත් කළ කුෂ්දිල් ශාහ් පන්දු 15ක් තුළ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 35ක් රැස්කළේය. පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 193ක් රැස්කළහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 57කදී හතරේ පහර 6ක් හා හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 78ක් රැස්කලේය.


දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන හොංකොං කණ්ඩායමට පීඩනයක් එල්ල කරන්නට පාකිස්තාන පන්දු යවන්නන් සමත් විය. එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ හොංකොං ඉනීම ලකුණු 38කට සීමා වීමයි. මෙය පාකිස්තානට එරෙහිව විස්සයි විස්ස ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු ගණනයි. කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි වූ අතර මෙම ලකුණු ගණනින් ලකුණු 10ක්ම අතිරේක ලකුණු වීම සුවිශේෂීය. පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් ලකුණු 8ට කඩුලු 4ක් ද මොහොමඩ් නවාස් ලකුණු 5ට කඩුලු 3ක්ද බිදහෙලීය.


160 views0 comments