• Chathura Ramanayake

හොංකොං කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට !!!



ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන අගෝස්තු මස 27වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් හයක් තරග වදින මෙවර තරගාවලියට ක්‍රීඩා කරන අවාසන් කණ්ඩායම තේරීම සදහා පැවති සුදුසුකම් ලැබීමේ වටය ඊයේ දිනයේදී නිමාවට පත් විය. සුදුසුකම් ලැබීමේ වටයේ හයවන තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත් වූයේ එම තරගයේ ජයග්‍රාහකයා මත ආසියානු කුසලානට එක්වන කණ්ඩායම තීරණය වන නිසාවෙනි.


ඕමානයේදී පැවති මෙම තරගය වෙනුවෙන් හොංකොං කණ්ඩායම සමගින් එක්සත් අරාබි එමීර් කණ්ඩායම තරග වැදුනි. කාසියේ වාසිය හිමිකරගත් හොංකොං කණ්ඩායම පළමුව පන්දු රැකිම තෝරාගත්හ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි.


එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනෙකුට පමණක් හොංකොං පන්දු යවන්නන් හමුවේ ලකුණු 10 සීමාව ඉක්මවන්නට හැකිවිය. ඒ අතුරින් ඉනීමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා වූ නායක රිස්වාන් ලකුණු 49ක්ද සෆාර් ෆරීඩ් හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 41ක්ද රැස්කිරීමට සමත් විය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ එෂාන් ඛාන් පන්දුවාර හතර තුළ ලකුණු 24ට කඩුලු 4ක් බිදහෙලද්දී අයුෂ් ශුක්ලා ලකුණු 30ට කඩුලු 3ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන හොංකොං කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් තිදෙනා මෙවරද සාර්ථක විය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සබදතාවක් ගොඩනගන්නට නිසාකට් ඛාන් හා යසීම් මුර්ටාසා වගබලාගත්හ. නායක නිසාකට් ඛාන් ලකුණු 39ක් රැස්කළ අතර යසීම් මුර්ටාසා හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය.


බාබර් හයාට් විසින් හොංකොං කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරා රැගෙන යාමට වගබලාගත්තේ පන්දු 26ක් තුළ හයේ පහර 3ක් හා එක් හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස්කරමිනි. එක් පන්දුවාරයක් ඉතිරිව තිබියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 8කින් පරාජයට පත් කළ හොංකොං කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩයට සුදුසුකම් ලැබීය.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය : 147/10 (19.3)

චුන්දන්ගපොයිල් රිස්වාන් 49(44), සවාර් ෆරීඩ් 41(27)

එෂාන් ඛාන් 4/24, අයුෂ් ශුක්ලා 3/30


හොංකොං කණ්ඩායම : 149/2 (19.0)

යසීම් මුර්ටාසා 58(43), නිසාකට් ඛාන් 39(39), බාබර් හයාට් 38(26)*

බැසිල් හමීඩ් 1/31

153 views0 comments