
Chathura Ramanayake
හස්රටුල්ලා සසායිගේ වාර්තාවක් බිද වැටෙයි !

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ශතකයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වන්නට ප්‍රංශයේ ගුස්ටාව් මැකියොන් සමත් විය. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ යුරෝපා උප මහද්වීපික තරගාවලියේ B කොටසේ තරගයකදී මෙම වාර්තාව පිහිටුවීමට ඔහු සමත් විය.
ස්විට්සර්ලන්තය සමගින් පැවති මෙම තරගයේදී ලකුණු 109ක් රැස්කිරීමට ගුස්ටාව් මැකියොන් සමත් වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලාබාලතම ශතක ලාභියා බවට පත් වෙමිනි. ඔහු මේ වන විට 18 හැවිරිදි වියෙහි පසුවෙයි. මින් පෙර එම වාර්තාවට හිමිකම් කී ඇෆ්ගනිස්තාන ක්‍රීඩක හස්රටුල්ලා සසායි 2019 වසරේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු 162ක් රැස්කොට තිබුණි. ඒ වන විට හස්රටුල්ලාගේ වයස අවුරුදු 20ක් පමණ විය.
ප්‍රංශය හා ස්විට්සර්ලන්තය අතර ඊයේ පැවති තරගයේදී ගුස්ටාව් මැකියොන් රැස්කළ ශතකය තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවීය. ප්‍රංශය නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී ලකුණු 157ක් රැස්කළහ. නමුත් ස්විට්සර්ලන්තය කඩුලු 9ක් දැවී තිබියදී අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 158ක් රැස්කළේ තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමිනි.
ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකයක් රැස්කළ ලාබාලතම ක්‍රීඩකයන්
ගුස්ටාව් මැකියොන් (ප්‍රංශය) - ලකුණු 109 - අවුරුදු 18 දින 280
හස්රටුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය) - ලකුණු 162* - අවුරුදු 20 දින 337
ශිවකුමාර් පෙරියාල්වාර් (රුමේනියාව) - ලකුණු 105* - අවුරුදු 21 දින 161
ඕර්චිඩ් ටුයිසෙන්ගේ (රුවන්ඩාව) - ලකුණු 100* - අවුරුදු 21 දින 190
දීපේන්ද්‍ර සිං (නේපාලය) - ලකුණු 110 - අවුරුදු 22 දින 68