• Chathura Ramanayake

හර්දික් පාන්ඩ්‍යා තුන් ඉරියව්වෙන් දස්කම් දක්වයි !!!



සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. සවුත්හැම්ප්ටන්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නායක රෝහිත් ෂර්මා සමගින් ඉෂාන් කිෂාන් ඉනීම අරඹමින් පිටියට පිවිසියහ.


ඉන්දීය ඉනීමේ පළමු කඩුලු 2ක ලෙසින් රෝහිත් ෂර්මා ලකුණු 24කටත් ඉෂාන් කිෂාන් ලකුණු 8කටත් දවාගැනීමට මොයීන් අලිට හැකිවිය. අනතුරුව දීපාක් හූඩා හා සූර්‍යකුමාර් යාදව් පිළිවෙලින් වේගවත් ලකුණු 33ක් හා 39ක් ඉන්දීය ඉනීමට එක් කරන්නට සමත් විය. ඉන්දීය ඉනීමේ අංක 5 පිතිකරු ලෙසින් පිටියට එක්වූ හර්දික් පාන්ඩ්‍යා පන්දු 33ක් තුළ හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 198ක් රැස්කිරීමට විය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝඩ්න් හා මොයීන් අලි කඩුලු 2 බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝස් බට්ලර් ලකුණු ලබාගන්නට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට බුවනේෂ්වර් කුමාර්ට හැකිවිය. ඩේවිඩ් මාලන් පන්දු 14කදී ලකුණු 21ක් රැස්කරද්දී ලියම් ලිවින්ග්ස්ටන්ද ලකුණු නොලබා ක්‍රීඩාගාරයට පියමන් කළේ හර්දික් පාන්ඩ්‍යාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නාට උඩපන්දුවක් ලබාදෙමිනි. නැවත වරක් ක්‍රියාත්මක වූ හර්දික් පාන්ඩ්‍යා පන්දු 16ක් තුළ ලකුණු 4ක් පමණක් රැස්කොට සිටි ජේසන් රෝයි දවාගැනීමට සමත් විය.


අනතුරුව හැරී බෲක් හා මොයීන් අලී එක්ව එංගලන්ත ඉනීම ගොඩනගන්නට විය. හැරී බෲක් ලකුණු 21ක් හා මොයීන් අලී ලකුණු 38ක් රැස්කොට සිටියදී දවාගැනීමට යුෂ්වේන්‍ද්‍රන් චහල්ට හැකිවිය. පන්දුවාර 19 පන්දු 3ක් අවසානයේදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 148කදී දැවී ගියේ ඉන්දියාවට ලකුණු 50ක ජයක් අත්කර දෙමිනි. නොදැවී ක්‍රීඩා කළ ක්‍රිස් ජෝඩ්න් ලකුණු 26ක් රැස්කළ අතර පන්දු යැවීමේදී හර්දික් පාන්ඩ්‍යා ලකුණු 33කට කඩුලු 4ක්ද මංගල තරගයට ක්‍රීඩා කළ අර්ෂදීප් සිංග් කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ හර්දික් පාන්ඩ්‍යා සම්මානයට පාත්‍ර විය.


ඉන්දියාව - 198/8

හර්දික් පාන්ඩ්‍යා 51(33), සූර්‍යකුමාර් යාදව් 39(19), දීපාක් හූඩා 33(17)

ක්‍රිස් ජෝඩ්න් 2/23, මොයීන් අලි 2/26


එංගලන්තය - 148/10

මොයීන් අලි 36(20), හැරී බෲක් 28(23)

හර්දික් පාන්ඩ්‍යා 4/33, අර්ෂදීප් සිංග් 1/18, යුෂ්වේන්‍ද්‍රන් චහල් 2/32

0 views0 comments