• Shaminda Jayarathne

හයේ පහර 29ක් සමග එංගලන්ත - දකුණු අප්‍රිකා මල් වෙඩි සංදර්ශනය!

ඊයේ දිනයේදී ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකා එංගලන්ත පළමු විස්සයි විස්ස තරඟය නිමාවට පත් වූයේ එංගලන්තයට ලකුණු 41ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්. නමුත් තරඟය පුරාවටම පිතිකරුවන් තම අණසක පැතිරවූ තරඟයක් බවට මෙය පත් වුණා.


මුලින්ම පන්දුවට පහර දීම සඳහා පැමිණි එංගලන්තයේ පළමු කඩුලු 2 ලකුණු 41ක් තුළ බිඳ වැටුණත් ඩේවිඩ් මලාන් සහ ජොනී බෙයාස්ටෝ විසින් තෙවන කඩුල්ලට වටිනා ලකුණු 71ක් එක් කළා. මලාන් පන්දු 23 කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 4ක් ද සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 43ක්. ඉන් පසුව පිටියට පැමිණි මොයින් අලී විසින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් එංගලන්ත පිතිකරුවෙකු විස්සයි විස්ස තරඟයක වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරු බවට පත් වුණා.


ඒ පන්දු 16 කින් අර්ධ ශතකය වාර්තා කරමිනුයි.

අලී පන්දු 18 ක් තුළදී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් ද සමග ලකුණු 52ක් වාර්තා කළා. එංගලන්ත ඉනිමේ නැංගුරම වූ ජොනී බෙයාස්ටෝ පන්දු 53 කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 8ක් ද සමගින් සුපිරි ලකුණු 90 ක ඉනිමක් දියත් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක වූ ලුන්ගි න්ගිඩි ලකුණු 39 කට කඩුලු 5ක් බිඳ හෙලුවා. එංගලන්ත ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 234 ක් වශයෙන් සටහන් වුණා.


දැවන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 7ක් තුළ දැවී ගියා. නමුත් රීසා හෙන්ඩ්රික්ස් විසින් පිටියේ තම අණසක පතුරවමින් පන්දු 33 කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 57ක් වාර්තා කළා. විටින් විට කඩුලු බිඳ වැටීම ප්‍රශ්නයක් වුවත් තම මංගල විස්සයි විස්ස ඉනිම ක්‍රීඩා කළ 19 හැවිරිදි ට්‍රිස්ටන් ස්ටබ්ස් එංගලන්තයට කිසි දිනෙක අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා.

ස්ටබ්ස් පන්දු 28 කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 8ක් ද සමග ලකුණු 78 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට සමත් වුණා. අවසානයේදී ස්ටබ්ස් ගේ දැවී යාමෙන් අනතුරුව දකුණු අප්‍රිකාවෙන් තරඟය ගිලිහුණා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 193ක් පමණයි.


මෙම තරඟයේදී එංගලන්තය හයේ පහර 20ක් සහ දකුණු අප්‍රිකාව 9ක් වශයෙන් සමස්ථ හයේ පහර 29ක් එල්ල කිරීමද විශේෂත්වයක්. මෙය එංගලන්තය තුළදී වැඩිම හයේ පහර ගණනක් වාර්තා වූ තරඟයද වුණා. මෙම ජයග්‍රහණයත් සමගින් දෙරට අතරේ තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 1-0 ක් ලෙසින් එංගලන්තය ඉදිරියට පැමිණියා. දෙවන විස්සයි විස්ස තරඟය අද කාඩිෆ් හීදි පැවැත්වීමට නියමිතයි.


තරඟ සාරාංශය


එංගලන්තය 234-6 (20)

ජොනී බෙයාස්ටෝ 90(53), මොයින් අලී 52(18), ඩේවිඩ් මලාන් 43(23)

ලුන්ගි න්ගිඩි 39/5, ඇන්ඩිලේ ප්හෙලුක්වායෝ 63/1


දකුණු අප්‍රිකාව 193-8 (20)

ට්‍රිස්ටන් ස්ටබ්ස් 72(28), රීසා හෙන්ඩ්රික්ස් 57(33), ඇන්ඩිලේ ප්හෙලුක්වායෝ 22(17)

රිචඩ් ග්ලීසන් 51/3, ආදිල් රශීඩ් 17/2, රීස් ටොප්ලි 29/2

44 views0 comments