• Chathura Ramanayake

හයේ පහර නොමැති ශ්‍රී ලාංකිකයන්ගේ හොදම එක්දින ඉනීම් !!!




ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉනීමක් තුළ කිසිදු හයේ පහරක් එල්ල නොකරමින් වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයන් අතරෙහි දෙවැන්නා බවට පත්ව ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන්ය. ඒ ඔහු 2015 වසරේදී බංග්ලාදේශයට එරෙහිව රැස්කළ නොදැවුනු ලකුණු 161ක ඉනීම හේතුවෙනි. කිසිදු හයේ පහරක් එල්ල නොකරමින් ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු ඉනීම ක්‍රීඩා කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ය. ඔහු 2016 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 173ක් රැස්කළ අතර එම ඉනිමට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීය. එක්දින පිටියේ ඉනීම තුළ කිසිදු හයේ පහරක් එල්ල නොකරමින් වැඩිම ලකුණු රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා එම ඉනීම් පිළිබඳව මෙම ලිපියෙන් අවදානය යොමු කොට ඇත.


තිලකරත්න ඩිල්ෂාන් - නොදැවී ලකුණු 161


2015 ලෝක කුසලාන එක්දින තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගයේදී මෙම වාර්තාගත ඉනීම ක්‍රීඩා කරන්නට ඩිල්ෂාන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 332ක් රැස්කිරීමට සමත් වූ අතර ඊට තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 161කින් දායක විය. එම ඉනීම වෙනුවෙන් ඩිල්ෂාන් පන්දු 146ක් වැයකළ අතර ඊට හතරේ පහර 22ක් පමණක් ඇතුළත් විය. මෙම ඉනීම හයේ පහරක් නොමැතිව එක්දින පිටියේ වාර්තා වූ දෙවන ඉහළම පෞද්ගලික ලකුණු ගණනද බවට පත්ව ඇත.


මහේල ජයවර්ධන - ලකුණු 144


2011 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවන එක්දින තරගය ලීඩ්ස්හිදී පැවැත්විණි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 309ක් රැස්කළහ. එහ්දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසෙන මහේල ජයවර්ධන පන්දු 150ක් තුළ ලකුණු 144ක් රැස්කිරීමට සමත් විය. මහේලගේ ඉනීම හතරේ පහර 14කින් වර්ණවත් විය.


තිලකරත්න ඩිල්ෂාන් - නොදැවුනු ලකුණු 137


2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ තෙවන එක්දින තරගය ලාහෝර්හිදී පැවැත්විණි. කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 309ක් රැස්කළහ. එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පන්දු 139කදී හතරේ පහර 10ක් සමගින් නොදැවී ලකුණු 137ක් රැස්කළේය.


කුමාර් සංගක්කාර - නොදැවී ලකුණු 134


2013 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමගින් පැවති තරගයේදී නොදැවුනු ශතකයක් රැස්කිරීමට කුමාර් සංගක්කාර සමත් විය. එංගලන්තය රැස්කළ ලකුණු 293ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ඉලක්කය සපුරාලන්නට සමත් විය. එහිදී කුමාර් සංගක්කාර පන්දු 135කදී නොදැවී ලකුණු 134ක් රැස්කළේය. සංගක්කාරගේ ඉනීම හතරේ පහර 12කින් සමන්විත විය.


උපුල් තරංග - ලකුණු 133


2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලකුණු 327ක් රැස්කළහ. එහිදී ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 141කදී ලකුණු 133ක් රැස්කිරීමට සමත් විය. උපුල් තරංගගේ ඉනීමට හතරේ පහර 17කින් වර්ණවත් විය.

119 views0 comments