• Chathura Ramanayake

සිංහ ධජයේ අභිමානය ලොවපුරා රැව්දුන් වීජයග්‍රාහී ඓතිහාසික සැප්තැම්බර් 11

වසර 2022 ඔක්තෝබර් මස 11වනදා ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ තවත් එක් ස්වර්ණමය දිනයක් බවට පත් විය. වසර අටක් මුලුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අහිමිව ගිය ආසියානු කුසලාන සිහිනය යළිත් වරක් සැබෑ කර දෙන්නට දසුන් ශානක ප්‍රමුඛ කොට ගත් සිංහ පුතුන් ඊයේ දිනයේදී සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් ද මෙවර ආසියානු ශූරියන් ලෙසින් ඊයේ කිරුලු දරන්නේ ශ්‍රී ලාංකීය අභිමානය ලොවක් ඉදිරියේ විදහා පාමිණි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ද ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට සමත් වූහ.



ඊයේ පස්වරු 1.30ට ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් 12වන ආසියානු කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් ක්‍රීඩා කළේ සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිවයි. පළමු කාර්තු දෙක තුළදී තරගයේ පාලනය සියතට ගත් සිංගප්පූරුව කාර්තු 2ක් අවසානයේදී ලකුණු 30-27ක් ලෙසින් ඉදිරියෙන් පසු විය. නමුත් තෙවන හා සිව්වන කාර්තු වලදී මැනවින් තරගයට අවතීර්ණ වෙමින් නියමිත කාලය අවසානයේදී ලකුණු 63-53ක් ලෙසින් තරගය ජයගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූයේ හයවන වරටත් ආසියානු දැල්පන්දු ශූරතාවයේ උරුමකරුවන් බවට පත් වෙමිනි.


ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් පුනපුනා බලා සිටි තරගය ලෙසින් ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගය ආරම්භ වූ අතර අනෙක් පසින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය ආරම්භ විය . ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව ශ්‍රී ලංකාවට පිතිකරණයට ආරාධනා කරද්දී නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6කට ලකුණු 170ක් රැස්කළහ. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පාකිස්තානයට නියමිත පන්දුවාර විස්ස තුළ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණි. ඒ අනුව මෙම තරගය ලකුණු 23කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හයවන ආසියානු කුසලානය දිනාගැනීමට සමත් විය.


ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන්ද විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 218ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. එහිදී නායක තිලකරත්න ඩිල්ෂාන් Road Safety ලෝක ශූරතා ඉතිහාසයේ පළමු ශතක ලාභියා බවට පත් වෙමින් පන්දු 56කදී හතරේ පහර 14ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 107ක් රැස් කළේය.


අනෙක් ආරම්භක පිතිකරුවා වූ ඩිල්ෂාන් මුණවීර පන්දු 63කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 95ක් රැස්කිරීමට විය. ඔවුන් දෙදෙනා එක්ව ආරම්භක කඩුල්ලට ලකුණු 208ක වාර්ගත සබදතාවක් ගොඩනගන්නට විය. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ දී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ නුවන් කුලසේකර ලකුණු 36ට කඩුලු 4ක් ද චතුරංග සිල්වා හා ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිදහෙලීය. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ තවත් එක් දවසක් විජයග්‍රාහී ලෙසින් එලෙසින් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ මුවගට සිනහවක් ගෙන එමිනි.

131 views0 comments