• Chathura Ramanayake

සුවිශේෂී කඩයිමක් පසුකිරීමට ඇන්ජලෝ මැතිවුස් සූදානමින් !!!



ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් හෙට දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සූදානමින් පසුවෙයි. ඇන්ජලෝ මැතිවුස් හෙට දිනයේදී ආරම්භ වන පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී සිය ශතකවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙම කඩයිම පසුකරන හයවන ක්‍රීඩකයා බවට ඇන්ජලෝ මැතිවුස් පත්වද්දී ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ ලොව 72වන ක්‍රීඩකයා ලෙසින්ද ඔහු වාර්තා පොත් අතරට එක් වනු ඇත. ඇන්ජලෝ මැතිවුස් 2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලැබීය. ඇන්ජලෝ මැතිවුස් මේ දක්වා ටෙස්ට් තරග 99කට ක්‍රීඩා කරමින් ලකුණු 6876ක් රැස්කොට ඇත්තේ 45.23ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමිනි.


මෙම සුවිශේෂී කඩයිම සම්බන්ධයෙන් ඇන්ජිලෝ මැතිවුස් අදහස් දක්වා ඇත.


ටෙස්ට් තරග 100කට රට නියෝජනය කිරීමට ලැබීම ගැන දැනෙන්නේ කොහොමද?

මගේ රට වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ භාග්‍යයක්.  බොහෝ අය එය කරල නෑ.  තමන්ගේ රට වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම විශාල අවස්ථාවක්, ඒ වගේම 100 ක් ක්‍රීඩා කිරීම මට විශාල ජයග්‍රහණයක්.  මට අද වගේම හොඳට මතකයි, 2009 දී පකිස්තානයට එරෙහිව මගේ මංගල තරගය. මගේ 100 වැනි තරගයත්, පාකිස්තානයට එරෙහිව එම ස්ථානයේදීමයි ක්‍රීඩා කරන්නේ. මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතනවා.

ඔබ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ දිනයේදී  ටෙස්ට් 100 ක් ක්‍රීඩා කිරීම පිළිබඳව හිතුවද ?


අවංකවම කිව්වොත් කවදාවත් ඒ දේවල් ගැන හිතලා නැහැ, මම එක වරකට හිතන්නෙ එක් තරගයක් ගැන පමණයි. හැම තරගයක්ම කලින් තරගයට වඩා වැදගත් කියලා මම හිතනවා. පහුගිය අවුරුදු 14 තුළ මේ තරම් ආබාධ වලට මුහුණ දෙන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඒ වගේම  මගේ ක්‍රිකට් ජීවිතයෙන් අඩක් ගතවෙද්දි ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කරන්න හිතුවේ නැහැ.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලද හොදම ජයග්‍රහණ පිළිබඳව කිව්වොත් ?

මගේ ක්‍රිකට් ජීවිතය තුළ ලබපු හොදම ජයග්‍රහණ තමයි එංගලන්තයට එරෙහිව 2014 වසරේදී ලද ටෙස්ට් ජයග්‍රහණය හා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 2016 වසරේදී පූර්ණ තරගාවලි ජයක් ලැබීම. එම අවස්ථාවන් දෙකේම කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමට ලැබීම මගේ වාසනාවක්.

ඔබට ළඟාවීමට නොහැකි වීම සම්බන්ධව  පසුතැවෙන දෙයක් තියෙනවද ?

ආබාධයන් එක්ක මට ගොඩක් තරග මඟ හැරුණා.  පිතිකරුවෙකු ලෙස ලකුණු 10,000 (දැනට 6876) ලබා ගැනීම මට තිබුණ එක් ඉලක්කයක්.  මම තවමත් විශ්වාස කරනවා ඉදිරි වසර කිහිපය තුළ මම ක්‍රීඩා කළහොත් මට එය ලබා ගන්න පුලුවන් කියලා

ඔබේ ටෙස්ට් දිවිය අවසන් කිරීමට කැමති කොයි විදියටද ?

මගේ හිතේ ලකුණු 10,000ක් රැස්කිරීමේ උවමනාව තියෙනවා.  මම ශාරීරික යෝග්‍යතාවයෙන් සිටියොත් එයා ඉටු කරගන්න පුලුවන් වෙයි කියල මට තවමත් හැඟෙනවා.  තවත් වසර කිහිපයක් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාමට මට අවශ්‍යයි.  කුමන ආකෘතියකින් වුවද මගේ රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක්.

සීමිත පන්දුවාර තරග ක්‍රීඩා නොකිරීම ගැන ඔබ කනගාටු වෙනවාද?

ඇත්තෙන්ම නැහැ.  මම තවමත් තේරීම් වලට ඉන්නවා.  මම විශ්‍රාම ගත්තෙ නෑ.  2023 ලෝක කුසලානයක් එනවා, මම ශාරීරික යෝග්‍යතාවයෙන් ඉන්නවා නම් සහ මම හොඳ තත්ත්වයේ ඉන්නවා නම්, මම ඒ සඳහා මගේ රට නියෝජනය කර පන්දුවාර 50 ආකෘතියකින් ලෝක කුසලානයක් දිනා ගැනීමට උත්සාහ කරනවා. මම 2014 T20 ලෝක කුසලානය දිනපු කණ්ඩායමේ සාමාජිකයෙක්, ටෙස්ට් ශූරතාවක් සහ එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීම මගේ සිහිනයයි.

Source : Dailyft

34 views0 comments