• Chathura Ramanayake

සුවන්ජි මදනායක ඇතුළු පස්දෙනෙකු පළාත් තේරීම් ක්‍රියාවලියට !!!



අන්තර් සමාජ ක්‍රීඩකයන් කෙරෙහි අවදානය යොමු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව සැලැස්මක් සකස් කොට ඇත. එම සැලැස්ම යටතේ නව පළාත් තේරීම් නිළධාරීන් පස්දෙනෙකු පත් කොට ඇත.

නව පත්වීම් ලද තේරීම් නිළධාරීන් වනුයේ අජිත් ඒකනායක, දුමින්ද වික්‍රමසිංහ, චන්දන ගුරුගේ, නල්ලයියා දේවරාජා හා සුවන්ජි මදනායකයි. ඔවුන් මේ වන විටත් සිය රාජකාරි කටයුතු ආරම්භ කොට ඇති අතර මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින තරගාවලිය අධීක්ෂණය කරමින් සිටියි.


අජිත් ඒකනායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සහකාර දගපන්දු පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කොට ඇත. එමෙන්ම සුවන්ජි මදනායක අන්තර් සමාජ තරග ක්‍රීඩා කළ පළපුරුදු පාදගපන්දු යවන්නෙකි. මෙම නිළධාරීන් අතර සිටින චන්දන ගුරුගේ මලියදේව විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජිකයෙකි. හිටපු රාජකීය විද්‍යාලයීය නායක මෙන්ම වත්මන් තරග තීරක නල්ලයියා දේවරාජාද පළාත් තේරීම් නිළධාරීවරයෙක් ලෙසින් පත්වීම් ලබා ඇත. ගාල්ල මහින්ද විද්‍යාලයීය හා ගාල්ල ක්‍රීඩා සමාජයේ හිටපු නායක මෙන්ම කණිෂ්ඨ තේරීම් කමිටු සාමාජික දුමින්ද වික්‍රමසිංහ ද පළාත් තේරීම් නිළධාරීන් අතරට ඇතුළත්ය.


ජාතික කණ්ඩායම තේරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, මෙම පළාත් තේරීම් කමිටු නිලධාරින් සමග සමීපව කටයුතු කිරීමට නියමිතය. මෙම කමිටුවේ ප්‍රධාන රාජකාරිය වනුයේ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිරීක්ෂණය හා ඉදිරියේ පැවැත්වෙන National Super League හා සීමිත පන්දුවාර තරගාවලි වෙනුවෙන් හොදම ක්‍රීඩකයන් තෝරාගැනීමයි.

0 views0 comments