• Shaminda Jayarathne

සූර්යකුමාර්ගේ සුපිරි ඉනිම ඉන්දියාවට ජය ගෙනෙයි!

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දියවට හැකි වුණා. පළමු තරඟයේ ජයග්‍රහණය ඉන්දියාවට හිමි වද්දී දෙවන තරඟයේ ජයග්‍රහණය හිමි වුණේ කොදෙව්වන්ටයි. ඒ අනුව තෙවන විස්සයි විස්ස තරඟය වඩාත් තීරණාත්මක එකක් වුණා.


කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන් පළමු කඩුල්ලට ලකුණු 57ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් පන්දු 50 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ද සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 73ක්. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් කඩුලු 2ක් බිඳහෙළුවා. කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 164ක් වාර්තා කළා.



සූර්යකුමාර් යාදෙව් තම අර්ධ ශතකය වාර්තා කළ මොහොත

ඡායාරූපය - www.timesofindia.com


ලකුණු 165 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ඉන්දියාව වෙනුවෙන් සූර්යකුමාර් යාදෙව් දියත් කළ ඉනිම නිසා ඉලක්කය වඩාත් පහසු වුණා. ඔහු පන්දු 44 කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ද සමග ලකුණු 76 ක ඉනිමක් දියත් කළා. මෙම තරඟයේදී සූර්යකුමාර් යාදෙව් ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසීමත් විශේෂත්වයක්.


ලකුණු 165 ක ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දියාවට හැකි වුණේ තරඟාවලියේ ජයග්‍රහණය 2-1 ලෙස තහවුරු කරගනිමින්. තරඟයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් දියත් කළ ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් හට හිමි වුණා.


තරඟ සාරාංශය


බටහිර ඉන්දීය කොදෙව් 164-5 (20)

කයිල් මේයර්ස් 73(50), රොහ්මන් පවෙල් 23(14), නිකලස් පූරාන් 22(23)

බුවනේෂ්වර් කුමාර් 35/2, හාර්දික් පාන්ඩයා 19/1


ඉන්දියාව 165-3 (20)

සූර්යකුමාර් යාදෙව් 76(44), රිශාබ් පාන්ට් 33(26)*, ශ්‍රෙයාස් අයියර් 24(27)

අකීල් හොසේන් 28/1, ජේසන් හෝල්ඩර් 30/1

138 views0 comments