• Chathura Ramanayake

සියවන එක්දින තරගයේ ශතක රැස්කළ ක්‍රීඩකයන් අතරට තවත් කොදෙව්වෙක් !!



සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරගය කොදෙව් ආරම්භක පිතිකරු ශායි හෝප්ට සුවිශේෂී තරගයක් බවට පත්වූයේ සිය ක්‍රිකට් දිවියේ සියවන එක්දින තරගය බවට මෙය පත් වූ නිසාවෙනි. මෙම සුවිශේෂී තරගයේදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ශායි හෝප් සමත් වූයේ සියවන එක්දින තරගයේ ශතකයක් රැස්කළ ලොව දසවැනි ක්‍රීඩකයා බවට පත් වෙමිනි.


ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සියවන තරගයේදී ශතකයක් රැස්කළ සිව්වන කොදෙව් ක්‍රීඩකයා බවටද ශායි හෝප් පත් විය. ශායි හෝප් ඊයේ දිනයේදී ඉන්දියාවට එරෙහිව පන්දු 135කදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 115ක් රැස්කළේය. මින් පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වූ ගෝඩ්න් ග්‍රීනිජ්, ක්‍රිස් ගේල්, රම්නරේෂ් සර්වාන් යන ක්‍රීඩකයන් තම සියවන එක්දින තරගයේදී ශතක වාර්තා කොට තිබුණි.


අවසන් වරට සියවන එක්දින තරගයේදී ශතකයක් වාර්තා කරන්නට 2018 වසරේදී ශිකර් ධවාන් සමත් විය. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 109ක් රැස්කළේය. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ද තමා ක්‍රීඩා කළ සියවන එක්දින තරගය තුළදී ශතකයක් වාර්තා කළේ ඉන්දියාවට එරෙහිව බැංගලෝර්හිදීය.

සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ක්‍රීඩකයන් අතරට එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුද ඇතුළත්ය. හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර තම සියවන එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ලකුණු 101ක් රැස්කිරීමට සමත්ව ඇත. සංගක්කාරට අමතරව පාකිස්තාන හිටපු ක්‍රීඩක මොහොමඩ් යූසුෆ්ද මෙම දක්ෂතාවය පෙන්නුම් කොට ඇත.


සියවන එක්දින තරගයේදී ශතක රැස්කළ ක්‍රීඩකයන්

ගෝඩ්න් ග්‍රීනිජ් - 102*

ක්‍රිස් කෙයාන්ස් - 115

මොහොමඩ් යූසුෆ් - 129

කුමාර් සංගක්කාර - 101

ක්‍රිස් ගේල් - 132*

මාකස් ට්‍රෙස්කොතික් - 100*

රම්නරේෂ් සර්වාන් - 115*

ඩේවිඩ් වෝනර් - 124

ශිකර් ධවාන් - 109

ශායි හෝප් - 115

1,959 views0 comments