• Chathura Ramanayake

සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ශූරතාවය දිනයි !!!



ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන සුදුසුකම් ලැබීමේ දෙවන අදියර සිම්බාබ්වේහිදී පැවැත්විණි. තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් නෙදර්ලන්ත කණ්ඩායම ඊයේ දිනයේදී තරග වැදිනි. මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව පිටියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 30 සීමාව ඉක්මවන්නට අවස්ථාව හිමි නොවිණි. සිම්බාබ්වේ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සීන් විලියම්ස් හතරේ පහර 3ක් සමගින් ලකුණු 28ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු රෙගිස් චකබාවා ලකුණු 27ක් රැස්කළේය. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19 පන්දු 3ක් තුළදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 132ක් පමණි. පන්දු යැවීමේදී නෙදර්ලන්ත ක්‍රීඩක ලෝගන් බීක් ලකුණු 18කට කඩුලු 3ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන නෙදර්ලන්ත පිතිකරුවන්ටද සාර්ථක වන්නට සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉඩ නොතැබීය. නෙදර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන් සිව්දෙනෙකුට හැර අන් කිසිවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට නොහැකි විය. පන්දුවාර 18 පන්දු 2ක් අවසානයේ නෙදර්ලන්ත ඉනීම නිමාවට පත් වූයේ ලකුණු 95කදීය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ස්ටෙපාන් මයිබර්ග් ලකුණු 22ක් රැස්කළේය. පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ශිකන්ධර් රාසා පන්දුවාර 4 තුළ එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 8කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවන අදියරේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවිය.තරගයේ වීරයා ලෙසින් ශිකන්ධර් රාසා සම්මානයට පාත්‍ර විය.


සිම්බාබ්වේ කණ්ඩායම - 132/10 (19.3)

Sean Williams 28(26), Regis Chakabva 27(16)

Logan van Beek 3/18, Bas de Leede 2/19


නෙදර්ලන්ත කණ්ඩායම - 95/10 (18.2)

Stephan Myburgh 22(24), Teja Nidamanuru 21(27)

Sikandar Raza 4/8, Wessly Madhevere 2/15

9 views0 comments