• Shahan Fernando

සුපුරුදු දක්ශතා අතරට පැමිණි ඇඹුල්දෙණිය සහ ජයසූරිය මහවැසි මැද කඩුළු දඩයමක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන් දින තරගාවලියේ තවත් තරග 4ක් ඊයේ දිනයේදී අවසන් විය. මෙම තරග හතර පසුගිය ඉරිදා දිනයේදී ආරම්භ විය. මෙම තරගයන්ට වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ තරග සියල්ලම ජයපරාජයෙන් තොරව අවසන් විය.


Image Source - Getty Images


එස් එස් සී ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය


කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එස් එස් සී කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනීමට කඩුලු 6කට ලකුණු 319ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටවූහ.


එහිදී නිපුන් ධනංජය ලකුණු 117ක්ද නුවනිදු ප්‍රනාන්දු ලකුණු 114ක්ද රැස්කළහ. තවද මනෝජ් සරච්චන්ද්‍ර නොදැවී ලකුණු 51ක් රැස්කළේය. පළමු ඉනීම වෙනුවෙන් පොලිස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 140ක් පමණි. එහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 40ට කඩුලු 7ක් බිදහෙලීය.


නැවත වරක් සිය දෙවන ඉනීම ඇරඹූ පොලිස් කණ්ඩායම කඩුලු 7කට ලකුණු 66ක් රැස්කළ අතර තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.


බදුරලිය ක්‍රීඩා සමාජය හා එන් සී සී ක්‍රීඩා සමාජය අතර තරගය


කොළඹ එන් සී සී ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බදුරලිය ක්‍රීඩා සමාජය පළමුව පන්දු රැකීම තෝරාගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන එන් සී සී කණ්ඩායමේ පළමු ඉනීම ලකුණු 152කට සීමා විය. එහිදී නායක ලහිරු උදාර ලකුණු 44ක් රැස්කළේය.


අනතුරුව සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන බදුරලිය ක්‍රීඩා සමාජ ඉනීම ලකුණු 153කදී නිමාවට පත් කරන්නට ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ එන් සී සී පන්දු යවන්නන් සමත් විය. ලසිත් ඇඹුල්දෙණිය එහිදී ලකුණු 76කට කඩුලු 7ක් බිදහෙලන්නට සමත් විය.


සිය දෙවන ඉනීම වෙනුවෙන් එන් සී සී කණ්ඩායම කඩුලු 9කට ලකුණු 151ක් රැස්කළ අතර මෙම තරගයද ජයපරාජයෙන් තොරව අවසන් විය.


ලන්ක්න් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය අතර තරගය


කොළඹ ක්‍රීඩා සමාජ පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලන්ක්න් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඔවුන් පළමු ඉනීම,වෙනුවෙන් රැස්කළේ ලකුණු 67ක් පමණි. එහිදී මලින්ද පුෂ්පකුමාර ලකුණු 27ට කඩුලු 8ක් බිදහෙලීය.


පළමු ඉනීම වෙනුවෙන් කොළඹ ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවන්නට තීරණය කළහ. එහිදී නායක කමිදු මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කළේය. සිය දෙවන ඉනීම ඇරඹූ ලන්ක්න් ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 131ක් රැස්කළ අතර තරගය ජයපරාජයට පත්විය. ලන්කන් දෙවන ඉනීමේදීද මලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් එම තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. පළමුව පන්දුවට පහර දුන් සැරසන්ස් ක්‍රීඩා සමාජය කිසිවෙක් නොදැවී ලකුණු 70ක් රැස්කළහ.

2,828 views0 comments