• Chathura Ramanayake

සාන්තුවරයන්ගේ සටනේ පළමු දිනයේදී ශෙනාල් හා ශෙවෝන් දක්ෂතා අතරට..



මරදාන ශාන්ත ජෝපස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 88වන සාන්තුවරයන්ගේ සටන ඊයේ දිනයේදී කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සාන්ත පීතර නායක වනුජ සහන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.


ඒ අනුව පිටියට පිවිසෙන සාන්ත පීතර ක්‍රීඩකයන් සිය පළමු ඉනිමේදී දක්ෂ පිතිහරඹයක් දියත් කළහ. සාන්ත පීතර කණ්ඩායම පන්දුවාර 60ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. සාන්ත පීතර ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අංක තුන පිතිකරු සෙනාල් බොතේජු පන්දු 136කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 81ක් රැස්කිරීමට සමත් විය.


එමෙන්ම සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් දනාල් හේමනන්ද පන්දු 58ක් තුළ හතරේ හා හයේ පහර දෙක බැගින් එල්ල කරමින් නොදැවුනු ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය. ශන්ශේ ගුණතිලකද හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 47කින් සාන්ත පීතර ඉනීම ශක්තිමත් කළේය. පන්දු යැවීමේදී සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක බැගින් බිදහෙලීය.


සිය පළමු ඉනීම ඇරඹූ සාන්ත ජෝසප් කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු හැරෙන්නට අන් කිසිදු පිතිකරුවකුට ලකුණු 15 සීමාව ඉක්මවන්නට නොහැකි විය. නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියෙල් පන්දු 93ක් තුළ හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 71ක් රැස්කළේය. දුනිත් වෙල්ලාලගේ හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 36ක් සාන්ත ජෝසප් ඉනිමට එක් කළේය.


ඒ අනුව සාන්ත ජෝසප් කණ්ඩායමට සිය පළමු ඉනීම වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163ක් පමණි. පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 63ට කඩුලු 4ක් හා ශෙනෝන් රොද්‍රිගු කඩුලු 3ක් දවාගැනීමට සමත් වූහ. සිය දෙවන ඉනීම ඇරඹූ සාන්ත පීතර කණ්ඩායම අද දිනය අවසානයේදී කඩුලු 2කට ලකුණු 35ක් රැස්කොට සිටියි.

42 views0 comments