• Chathura Ramanayake

සිඩ්නි කණ්ඩායමේ වෝනර් ගේ BBL ආගමනය තහවුරු කරයි.



ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස ලීගය වන Big Bash League තරඟාවලිය මේ වන විට ක්‍රිකට් ලෝකය තුළ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම තරඟාවලි අතරින් එක් තරඟාවලියක්.


මෙම තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 6ක් නියෝජනය කරන කණ්ඩායම් 8කින් යුතු වන අතර ලොවපුරා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් රැසක් තරඟාවලියට සහභාගී වනවා.


ලීග් තරඟ රටාව තුළ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළත් මේ වන විට සිටින සාර්ථකම පිතිකරුවෙක් ලෙස නම්දරා සිටින ඕස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් මෙවර BBL තරඟාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා. .


ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වුණත් ඔහු අවසන් වරට ඕස්ට්‍රේලියානු BBL තරඟාවලියට ක්‍රීඩා කර තිබෙන්නේ 2013 වසරේදී වීම සුවිශේෂී කාරණයක්.


වසර 8කට පමණ පසු තරඟාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කළ වෝනර් මෙවරත් BBL තරඟාවලිය අත්හැර ලොව නවතම විස්සයි විස්ස ලීගය වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ILT20 තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවසර ඉල්ලීමට නියමිතව සිටි බවත් මින්පෙර වාර්තා වුණා.


එම තරඟාවලියේ ක්‍රීඩකයින් හට ඩොලර් ලක්ෂ 4කට අධික දැවැන්ත වැටුපක් ලබාදීම ඒ සදහා හේතු වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් වෝනර් මෙවර BBL තරඟාවලියට ගිවිසුම් ගතව තිබෙන්නේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟයි. එය ඔහු මින්පෙර 2013 වසරේදී ක්‍රීඩාකළ කණ්ඩායමම වන අතර ඔහුගේ ගිවිසුමේ වටිනාකම ඩොලර් ලක්ෂ 3.4ක්.


සිය රටේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරමින් තමන් ලබාගත් අත්දැකීම් ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියට එන්නට තමන්ට උපකාරී වූ බවත්, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස තමන් දැන් ඒ වගකීම ඉටුකළ යුතු බවත්, ඒ නිසා ඕස්ට්‍රේලියානු BBL තරඟාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කළ බවත් වෝනර් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

478 views0 comments