• Chathura Ramanayake

බිනීගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දියාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්..


Road safety ලෝක ශූරතා විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේදී අද ඇරඹිණි. කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදුනි.


කාන්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්ඩුල්කාර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 217ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරන්නට විය.


ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ස්ටෘවර්ට් බිනී පන්දු 42කදී හතරේ පහර 5ක් හා හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 82ක් රැස්කළේය. යූසුෆ් පතාන් පන්දු 15ක් තුළ හතරේ පහරක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 35ක් රැස්කිරීමට සමත් විය. ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් සුරේෂ් රයිනා ලකුණු 33ක්, නමාන් ඕජා ලකුණු 21ක් හා නායක තෙන්ඩුල්කාර් ලකුණු 16ක් රැස්කළහ.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 156ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ජොන්ටි රෝඩ්ස් පන්දු 27කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 38ක් රැස්කළේය. පන්දු යැවීමේදී ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් රාහුල් ශර්මා ලකුණු 17කට කඩුලු 3ක් ද මුනාෆ් පටෙල් හා ප්‍රග්‍යාන් ඕජා කඩුලු 2 බැගින්ද බිදහෙලීය.ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 61ක ජයක් ලැබීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකිවිය.


5,847 views0 comments