• Chathura Ramanayake

සීක්කුට අහිමි, අකිලට හිමි 6IXTY ශූරතාවය !!



බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය හදුන්වා දුන් නවතම ලීග් තරගාවලිය වූ 6IXTY තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. මෙම තරගාවලිය වෙනුවෙන් කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් එක් විය. ඊයේ දිනයේ පැවති අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා තිබුණේ සුනිල් නරායන්ගේ නායකත්වයෙන් යුතු ට්‍රින්බැගෝ නයිට්‍රයිඩර්ස් කණ්ඩායම හා ඊවන් ලෙවිස්ගේ නායකත්වයෙන් යුතු ශාන්ත කිට්ස් & නෙවිස් පැට්‍රියට්ස් කණ්ඩායමයි.


පන්දුවාර 10කින් සමන්විත වූ මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඊවන් ලෙවිස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ට්‍රින්බැගෝ නයිට්‍රයිඩර්ස් කණ්ඩායමේ කඩුලු 6ම ලකුණු 83කදී දවාගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නන් සමත් විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ටිම් සීෆර්ට් පන්දු 25කදී ලකුණු 37ක් රැස්කළේ හතරේ පහරක් හා හයේ පහර 3ක් එල්ල කරමිනි.


ඇන්ඩ්‍ර්‍ර රසෙල් හයේ පහර 3ක් සමගින් ලකුණු 22ක් රැස්කළේය. නායක සුනිල් නරායන්ට හා ශ්‍රී ලංකා ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට ඊයේ දිනයේදී ලකුණු රැස්කිරීමට නොහැකි විය. පන්දු යැවීමේදී ඩොමිනික් ඩ්‍රේක්ස් ලකුණු 17කට කඩුලු 2ක් දවාගනිද්දී අකිල ධනංජය ලකුණු 15කට එක් කඩුල්ලක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පැට්‍රියට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 53ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. නායක ඊවන් ලෙවිස් පන්දු 16කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 32ක් රැස්කළේය. ෂර්ෆේන් රදර්ෆඩ් ලකුණු 4කට දැවී ගිය අතර ඩෙවල්ඩ් බ්‍රෙවිස් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නරායන් සමත් විය.


අනතුරුව ක්‍රිස් ගේල් හා ඇන්ඩ්‍ර්‍ර ෆ්ලෙචර් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ගේල් ලකුණු 15ක් හා ෆ්ලෙචර් ලකුණු 27ක් රැස්කළේ ශාන්ත කිට්ස් & නෙවිස් පැට්‍රියට්ස් කණ්ඩායම 6IXTY තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු පලන්දවමිනි. තරගාවලියේ වීරයා ලෙසින් ඇන්ඩ්‍ර ෆ්ලෙචර් සම්මානයට පාත්‍ර විය.

275 views0 comments