• Chathura Ramanayake

සීක්කු හා සුමින්දගේ තුන් ඉරියව් දස්කම් යුධ හමුදාව අවසන් මහා තරගයට ගෙන යයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්විණි. එහිදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය හා කොළඹ ක්‍රීඩා සමාජය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. එම තරගය හෙට දිනයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරගය අගෝස්තු 2වනදා තෙක් කල් දමා ඇත. යුධ හමුදා ක්‍රීඩා සමාජය හා ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.


කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් යුධ හමුදා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඉනීම ආරම්භ කරමින් පිටියට පිවිසියේ අශාන් රන්දික හා සීක්කුගේ ප්‍රසන්නයි. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 43ක් එක් කරන්නට විය. සීක්කු හැරුණු විට සෙසු මුල්පෙල හා මැදපෙළ පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකදී දවාගැනීමට ඒස් කැපිටල්ස් පන්දු යවන්නන් සමත් විය.


දිනේෂ් චන්දිමාල් ලකුණු 5කටත් දවාගැනීමට තානුක දාබරේ සමත්වද්දී අසේල ගුණරත්න ලකුණු 8කට දුවද්දී දවාගැනීමටද ඔහුට හැකිවිය. නමුත් අත්‍යාවශ්‍යම ඉනීමක් සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල සීක්කුගේ ප්‍රසන්න පන්දු 66කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 89ක් රැස්කිරීමට සමත් විය. සීක්කුගේ ප්‍රසන්නගේ ඉනීම හතරේ පහර 6කින් හා හයේ පහර 6කින් වර්ණවත් විය. යුධ හමුදා නායක තිසර පෙරේරාටද රැස්කිරීමට හැකිවූයේ ලකුණු 11ක් පමණි.


අනතුරුව සුමින්ද ලක්ෂාන් හා මහේෂ් කුමාර යුධ ඉනීමේ හත්වන කඩුල්ලට තවත් ලකුණු 74ක් එක් කරන්නට සමත් විය. සුමින්ද ලක්ෂාන් පන්දු 51කදී ලකුණු 33ක් රැස්කිරීමට සමත් විය. මහේෂ් කුමාර පන්දු 68කදි හතරේ පහර 4ක් සමගින් ලකුණු 46ක් රැස්කොට සිටියදී අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේය. ඒ අනුව පන්දුවාර 48 පන්දු 2ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී යුධ හමුදා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි. පන්දු යැවීමේදී ඒස් කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රමුද් හෙට්ටිවත්ත, තානුක දාබරේ, චානක දේවින්ද හා ලසිත් ක්‍රෝස්පුල්ලේ කඩුලු 2 බැගින් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජයේ පිතිකරුවන්ට සාර්ථක වන්නට යුධ හමුදා පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. ආරම්භ පිතිකරු තානුක දාබරේ ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යවන්නට නායක තිසර පෙරේරා සමත් විය. එතැන් පටන් පන්දුවෙන්ද සිය අණසක පැතිරූ සීක්කු හා සුමින්ද ඒස් කැපිටල්ස් ඉනීම ලකුණු 123කට සීමාකරන්නට වග බලාගත්හ. ඒස් කැපිටල්ස් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 31ක් රැස්කළ අතර ලසිත් ක්‍රෝස්පුල්ලේ ලකුණු 23ක් රැස්කිරීමට සමත් විය. සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවන්නට සුමින්ද හා සීක්කු ඉඩ නොතැබූහ. සීක්කුගේ ප්‍රසන්න සිය පන්දුවාර දහය තුළ ලකුණු 26කට කඩුලු 4ක් දවාගනිද්දී සුමින්ද ලක්ෂාන් ලකුණු 42කට කඩුලු 4ක් බිදහෙලීය. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 123ක විශිෂ්ඨ ජයක් ලද යුධ හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.


යුධ හමුදා ක්‍රීඩා සමාජය : 246/10 (48.2) සීක්කුගේ ප්‍රසන්න 89(66), මහේෂ් කුමාර 46(68), සුමින්ද ලක්ෂාන් 33(51) ප්‍රමුද් හෙට්ටිවත්ත 2/26, ලසිත් ක්‍රෝස්පුල්ලේ 2/32, චානක දේවින්ද 2/47


ඒස් කැපිටල්ස් ක්‍රීඩා සමාජය : 123/10 (27.4) ඕෂධ ප්‍රනාන්දු 31(33), ලසිත් ක්‍රෝස්පුල්ලේ 23(18) සීක්කුගේ ප්‍රසන්න 4/26, සුමින්ද ලක්ෂාන් 4/42,  තිසර පෙරේරා 1/12

381 views0 comments