• Chathura Ramanayake

සිකන්දර් රාසා තුන් ඉරියව්වෙන් දස්කම් පාමින් සිම්බාබ්වේ කණ්ඩායමට ජය ගෙනෙයි.



සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද දිනයේදී සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් හිමිකරගනිමිනි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගනු ලැබූවේ 2013 වසරෙන් පසුව වීමද සුවිශේෂීය.


හරාරේහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරා ගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 71ක් එක් කරන්නට සමත් විය. නායක ටමිම් ඉක්බාල් ලකුණු 50කදී දැවී යද්දී එනමුල් හක් ලකුණු 20කට දුවද්දී දැවීයාමට හසුවිය. තෙවන කඩුල්ලට තවත් ලකුණු 50ක් එක් කරන්නට මුෂ්ෆිකර් රහීම් හා ෂැන්ටෝ සමත් විය. රහීම් ලකුණු 25කටත් ෂැන්ටෝ ලකුණු 38කදීත් දවාගැනීමට වෙස්ලිට හැකිවිය.


අනතුරුව මහමදුල්ලා හා අෆීෆ් හුසේන් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් එක් කරන්නට සමත් විය. අෆිෆ් හුසේන් පන්දු 41කදී ලකුණු 41ක් රැස්කිරීමට සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 290ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මහමදුල්ලා රියාස් පන්දු 84කදි හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 80ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ශිකන්දර් රාසා ලකුණු 56ට කඩුලු 3ක් බිදහෙලීය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 27ක් තුළදී බිදවැටුනි. ආරම්භ පිතිකරු මරුමානි ලකුණු 25කට දැවී යද්දී සිම්බාබ්වේ ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 4ට ලකුණු 49ක් ලෙසිනි. පෙර තරගයේදී මෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ වගකීම සිය කරමතට ගන්නට නායක චකබාවා සමගින් එක්වූ ශිකන්ධර් රාසා වගබලාගත්තේය. චකබාවා හා රාසා අතර පස්වන කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබදතාවක් ගොඩ නැගුණි.


සිම්බාබ්වේ එක්දින ඉහිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නායක චකබාවා ඊයේ දිනයේදී සමත් වූයේ පන්දු 73කින් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමිනි. ඔවුන් දෙදෙනා එක්ව පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 201ක් රැස්කළ අතර සිම්බාබ්වේ එක්දින ඉතිහාසයේ පස්වන කඩුල්ල වෙනුවෙන් හොදම සබදතාව බවටද එය පත්විය. සිම්බාබ්වේ නායක රෙගිස් චකබාවා පන්දු 75ක් තුළ හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 102ක් රැස්කිරීමට සමත් විය.


ඉනීමේ අගභාගය වේගවත් කළ ටෝනි මුන්‍යොන්ගා පන්දු 16ක් තුළදී හතරේ පහර හා හයේ පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් නොදැවී රැස්කිරීමට සමත් විය. පන්දුවාර 47 පන්දු 3ක් අවසානයේදී කඩුලු 5ක් දැවී ඉලක්කය හබායාමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය. සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රාහී මාවතට රැගෙන ගිය ශිකන්ධර් රාසා පන්දු 127කදී හතරේ පහර 8ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 117ක් රැස්කිරීමට සමත් විය.මෙම තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ ශිකන්ධර් රාසා සම්මානයට පාත්‍ර විය.


BANGLADESH : 290/9(50 Overs)

Mahmudullah *80 (84),Tamim Iqbal 50 (45)

Sikandar Raza 3/56 (10), Wessly Madhevere 2/40 (9)


ZIMBABWE : 291/5(47.3 Overs)

Sikandar Raza *117 (127), Regis Chakabva 102 (75)

Mehidy Hasan Miraz 2/50 (10), Hasan Mahmud 2/47 (9)



627 views0 comments