• Chathura Ramanayake

සය මසකට පසු ක්‍රිකට් පිටියට පිවිසි ඉන්දීය පන්දු යවන්නා තරගයේ වීරයා වෙයි !!



ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සමත් විය. හරාරේහිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක ලෝකේෂ් රාහුල් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන සිම්බාබ්වේ පිළේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාට වැඩි වේලාවක් ක්‍රීඩා පිටියේ රැදෙන්නට නොහැකි විය.


ආබාධයකට ලක්ව සිට සයමසකට පසුව ක්‍රිකට් පිටියට පිවිසි දීපාක් චහර් සිම්බාබ්වේ මුල් පෙළ කඩුලු 2ක ලකුණු 26කදී බිදහෙලන්නට විය. අනතුරුව ක්‍රියාත්මක වූ මොහොමඩ් සිරාජ් සීන් විලියම්ස් එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් විය. බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ඨ දස්කම් පෑ ශිකන්ධර් රාසාට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 12ක් පමණි.නායක රෙගිස් චකබාවා ලකුණු 35ක්‍ රැස්කළේ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.


පන්දුවාර 28 පන්දු 3ක් අවසානයේදී සිම්බාබ්වේ ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 110කට කඩුලු 8ක් ලෙසිනි. සිම්බාබ්වේ එක්දින ඉතිහාසයේ 9වන කඩුල්ලට හොදම සබදතාවය ගොඩනගන්නට බ්‍රැඩ් ඊවන්ස් හා රිචඩ් නගරාවාට හැකිවිය. ඔවුන් දෙදෙනා නවවන කඩුල්ලට ලකුණු 80ක් එක් කරද්දී ඔවුන් දෙදෙනාම හතරේ පහර 3ක් හා එක් හයේ පහර බැගින් එල්ල කළහ. බ්‍රැඩ් ඊවන්ස් නොදැවී ලකුණු 34ක් හා රිචර්ඩ් නගරාවා ලකුණු 33ක් රැස්කළේය. පන්දුවාර 40 පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී සිම්බාබ්වේ කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189ක් පමණි. පන්දු යැවීමේදී දීපාක් චහර්, ප්‍රසිද් ක්‍රිෂ්ණා හා අක්ෂාර් පටෙල් කඩුලු 3ක් බැගින් දවාගැනීමට සමත් විය.


ඉලක්කය හබායාමට ශිකර් ධවාන් සමගින් ශුබ්මන් ගිල් පිටියට පිවිසියහ. ඔවුන් දෙදෙනා සිම්බාබ්වේ පන්දු යවන්නන්ට එරෙහිව දක්ෂ ලෙසින් පිතිකරණයේ නියැලෙනු දක්නට ලැබිණි. ඉන්දීය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් විය. ආරම්භ පිතිකරු යුගලය වූ ශිකර් ධවාන් පන්දු 113ක් තුළ හතරේ පහර 9ක් සමගින් ලකුණු 81ක් රැස්කළ අතර ශුබ්ම්න් ගිල් පන්දු 72කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 82ක් රැස්කිරීමට සමත් විය. ශිකර් ධවාන් අද දිනයේදී සිය එක්දින දිවියේ 38වන අර්ධ ශතකය රැස්කළ අතර ශුබ්ම්න් ගිල් තෙවන එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.


කෙටි ලකුණු පුවරුව


සිම්බාබ්වේ ඉනීම : 189/10 (40.3)

රෙගිස් චකබාවා 35(51), රිචඩ් නගරාවා 34(42), බ්‍රැඩ් ඊවන්ස්* 33(29)

අක්ෂාර් පටෙල් 3/24, දීපාක් චහර් 3/27, ප්‍රසීද් ක්‍රිෂ්ණා 3/50


ඉන්දීය ඉනීම : 192/0 (30.5)

ශුබ්ම්න් ගිල්* 82(72), ශිකර් ධවාන්* 81(113)

753 views0 comments