• Chathura Ramanayake

ශෙවෝන් ඩැනියෙල් ශතකයක් අභියස !!!



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ඊයේ දිනයේදී ආරම්භ විය.ඩර්බිහිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත යොවුන් පිළ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ.


ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත යොවුන් කණ්ඩායම ඊයේ දිනය අවසානයේදී කඩුලු 4කට ලකුණු 268ක් රැස්කිරීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් මැතිව් හස්ට් පන්දු 189කදී හතරේ පහර 11ක් සමගින් ලකුණු 116ක් රැස්කිරීමට සමත් විය. ඊයේ දිනය අවසානයේදී නොදැවී ලකුණු 98ක් රැස්කොට සිටි හැරී සිං අද දිනයේදී සිය ශතකය වාර්තා කිරීමට සමත් විය.


හැරී සිංගේ ඉනීම ලකුණු 104කදී නිමාවට පත් කරන්නට සහන් මිහිරාන්ට හැකිවිය. අනතුරුව ජේම්ස් සේල්ස් අර්ධ ශතකයක් වාර්තා කරමින් එංගලන්ත ඉනීම ලකුණු 350 සීමාව ඉක්මවන්නට දායක විය. එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 381ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුවිදු, සහන්, වනුජ හා රවීන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.


සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ අසිත වන්නිනායක ලකුණු 4කදී දවාගැනීමට ටොම් ලේව්ස්ට හැකිවිය. අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ශෙවෝන් ඩැනියෙල් හා අභිෂේක් ලියනාරච්චි ලකුණු 116ක සබදතාවක් ගොඩනගන්නට විය. අභිශේක් ලියනාරච්චි ලකුණු 49ක් රැස්කොට සිටියදී අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය.


ශෙවෝන් ඩැනියෙල් සමගින් පිටියේ එක්වන පවන් පතිරාජ තෙවන කඩුල්ලට නොදැවුනු ලකුණු 77ක සබදතාවක් ගොඩනගන්නට විය. අද දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 203ක් රැස්කළහ. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියෙල් හතරේ පහර 15ක් සමගින් ලකුණු 92ක් රැස්කළ අතර පවන් පතිරාජ නොදැවී ලකුණු 37ක් රැස්කොට සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 178ක් පසුපසින් සිටියි.


එංගලන්ත යොවුන් පළමු ඉනීම : 381/10

මැතිව් හර්ට්ස් 116, හැරී සිං 104, ජේම්ස් සේල්ස් 52

රවීන් ද සිල්වා 2/56, දුවිදු රණතුංග 2/58, වනුජ සහන් 2/67


ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනීම : 203/2

ශෙවෝන් ඩැනියෙල් 92*, අභිෂේක් ලියනාරච්චි 49, පවන් පතිරාජ 37*

173 views0 comments