• Shahan Fernando

ශ්‍රී ලංකාව වසර 8කට පසු ආසියානු කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.


2022 ආසියානු කුසලාන තරඟාවලියේ තවත් උද්වේගකර තරඟයක් ඊයේ රාත්‍රියේ නිමාව දුටුවේ පාකිස්ථානයට සහ ශ්‍රී ලංකාවට ආසියානු කුසලාන අවසන් සටනේ දොරටු විවර කරමින්.



සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථනයට එරෙහිව තරඟ වැදුණු අතර එම තරඟ ද්විත්වයම ජයගත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්වුණා.


ඒ වන විට එක් තරඟයක් ජයගෙන තිබූ පාකිස්ථානය ලකුණු සටහනේ දෙවැනි තැන පසුවුණා. ඊයේ රාත්‍රියේ පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරඟය පාකිස්ථාන ජය ගතහොත්, ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට තවත් තරඟය බැගින් ඉතිරිව තිබියදීම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවී තිබුණා.


එවන් උද්වේගකර තරඟයක පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථනය පන්දුවාර 20 අවසානයේ ලකුණු 129ක් රැස් කරගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්ථානය පන්දුවාර 15 යි පන්දු 3ක් තුළ 87/3ක් ලෙස ප්‍රබල අවධියක පසුවුනා.


පරාජයේ සේයාවන් පෙනෙන මානයේදි උත්සාහය අත් නොහැරි ඇෆ්ගනිස්තානය තරඟය අවසන් පන්දුවාරය තෙක් රැගෙන ඒමට සමත්වුනේ පන්දුවාර 19ක් වන විට පාකිස්ථාන ලකුණු පුවරුව 119/9 ක් බවට පරිවර්තනය කරමින්.


අවසන් පන්දුවාරයේදි පාකිස්ථානයට ලකුණු 11ක ඉලක්කයක් හිමිවුනේ එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබියදී. ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෆාරූකී යැවූ විසිවෙනි පන්දුවාරයේ පළමු පන්දු ද්විත්වයට පිට පිටම හයේ පහර ද්විත්වයක් එල්ල කළ පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂාහ් පාකිස්ථානයට ජයග්‍රහණයේ රස පහස දිනාදීමට සමත්වුණා.


එම ජයග්‍රහණයත් සමඟින් ඒ වන විට සුපිරි සිව්ඩනගේ වටයේ තමන් මුහුණ දුන් තරඟ දෙකම පරාජය වුණු ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව තරඟාවලියෙන් ඉවත්වුණා.


ඒ අනුව ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට ආසියානු කුසලාන අවසන් මහා තරඟයට පිවිසීමට හැකියාව ලැබුණේ ඔවුන් සුපිරි සිව්දෙනගේ වටයේ මෙතෙක් මුහුණදුන් තරඟ දෙකම ජයග්‍රහණය කිරීම හේතුවෙන්.


ඒ අනුව පස්වරක් ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකාව එළඹෙන සැප්තැම්බර් 11 වන ඉරිදා දින පාකිස්ථානයට එරෙහිව අවසන් සටනට පිවිසෙනු ඇති.

2,145 views0 comments