• Chathura Ramanayake

ශ්‍රී ලංකාව පහසුවෙන් තැකිය නොහැකි බවට හිටපු පාකිස්තාන නායකයා අනතුරු අගවයි


ආසියානු කුසලාන තරගාවලියේ පහළොස් වන අදියරේ අවසන් මහා තරගය අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය. මෙවර ආසියානු කුසලානය දිනාගැනීමට පාකිස්තානය හා ශ්‍රී ලංකාව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට සූදානමින් පසුවෙයි.උද්යෝගිමත් හා තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ගත නොහැකි බවට හිටපු නායක වසීම් අක්‍රම් පාකිස්තානයට අනතුරු අගවා ඇත. පකිස්ථාන හිටපු නායක වසීම් අක්‍රම් විශ්වාස කරන්නේ පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ වැරදි වලින් ඉගෙන ගෙන අවසන් තරඟයේදී වඩා හොඳ දස්කම් දක්වනු ඇති බවයි. ශ්‍රී ලංකාව සුළුවෙන් තැකිය නොහැකි බව ද හිටපු වේගපන්දු යවන්නා වැඩිදුරටත් පැවසීය.


මෙවර ආසියානු කුසලානයේදී පකිස්ථාන කණ්ඩායමේ දස්කම් විශිෂ්ටයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟයේදී ඔවුන්ගේ පිතිකරණයේ දුර්වලතා තිබුණා. නමුත් පන්දු යැවීම හොද මට්ටමේ තිබුණා. ඔවුන් තම වැරදි වලින් ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. නමුත් තවමත්, මම හිතන්නේ, අවසන් මහා තරගයේ ප්‍රියතමයා පාකිස්තානයයි. නමුත් උද්යෝගිමත් සහ තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම ලෙහෙසියෙන් ගත නොහැකියි වසීම් අක්‍රම් BBN ස්පෝර්ට්ස් වෙත පැවසීය.
පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් පවසනවා අපේ මැදපෙළ තරමක් පළපුරුද්දක් නොමැති බව. එය පසුගිය සුපිරි හතර වටයේ තරගයේදී හෙළිදරව් වූයේ රිස්වාන් දැවී ගිය පසුවයි. නමුත් අවසන් තරගයේදී ඔවුන් නැවත ශක්තිමත් වේවි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

පාකිස්තාන නායක බාබර් අසාම් මෙවර තරගාවලියේ දී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. ඔහු මෙවර තරගාවලියේ දී තරග 5 තුළදී පිළිවෙලින් රැස්කළේ ලකුණු 10,9,14,0 හා 30ක් පමණි. වසීම් අක්‍රම් විශ්වාස කරන්නේ ඔහු නැවත ලකුණු අතරට පැමිණෙන බවත් ඔහුට ඒ සදහා අවශ්‍ය එක් ඉනීමක් පමණක් බවත්ය.

බබාර් ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් වන අතර ඔහුට අවශ්‍ය වන්නේ එක් හොඳ ඉනිමක් පමණි. මම හිතනවා ඔහු අවසන් තරගයේදී හොඳින් දස්කම් දක්වයි කියලා".

2,347 views0 comments