• Shaminda Jayarathne

ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරඟයට යන්නේ මෙහෙමයි

අද දිනයේදී පාකිස්තානය හමුවේ පැවති ටෙස්ට් තරඟයේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ තෙවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණියා. මේ වන විට ශ්‍රී ලංකාව ලකුණු 53.3% ක ප්‍රතිශතයක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනා දකුණු අප්‍රිකාව 71.43% ක් හා ඕස්ට්‍රේලියාව 70% වශයෙන් ලකුණු ලබාගෙන මුල් ස්ථාන දෙකේ පසුවෙනවා.


මීළඟට අගෝස්තු මාසයේදී පැවැත්වෙන එංගලන්ත දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය 3-0 ක් වශයෙන් එංගලන්තය ජයග්‍රහණය කළහොත් දකුණු අප්‍රිකාව 5 වන තැන දක්වා පසු බසින අතර ශ්‍රී ලංකාවට දෙවන ස්ථානය දක්වා පැමිණීමට හැකි වනවා. ඉන් පසුව ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය ඕස්ට්‍රේලියාව විසින් 1-0 ක් 2-0 ලෙස ජයග්‍රහණය කිරීම හෝ 0-0 ලෙසට අවසන් කිරීම ශ්‍රී ලංකාව දිගටම දෙවන ස්ථානය තුළ රැඳවීමට සමත්.


අනතුරුව ටෙස්ට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකානු තරඟාවලියද 3-0 ක් වශයෙන් ඕස්ට්‍රේලියා ජය ගතහොත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව තවදුරටත් මුල් ස්ථාන 2 රැඳී සිටිනවා. යම් හෙයිකින් එය දකුණු අප්‍රිකාව 3-0 වශයෙන් ජය ලබා ගතහොත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟයට එක් වීමට නියමිතයි.


එංගලන්ත පාකිස්තාන තරඟාවලිය 1-0, 2-0 හෝ 3-0 වශයෙන් එංගලන්තය ජය ගැනීම හෝ 0-0, 1-1 ලෙස අවසන් වීමද ශ්‍රී ලංකාවට වාසි සහගතයි. ඉන්දීය - ඕස්ට්‍රේලියා හා ඉන්දීය බංගලදේශ ටෙස්ට් තරඟාවලි ද්විත්වය ජය ගැනීම ඉන්දියාව අවසන් මහා තරඟය තෙක් මෙහෙයවීමට හැකි තරඟාවලි දෙකෙක්. මේ නිසාවෙන් මෙම තරඟාවලි දෙකෙන් බංගලදේශ තරඟාවලිය හැරුණ විට ඕස්ට්‍රේලියා තරඟ 4 ක තරඟාවලිය සම වීම හෝ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමට නියමිතයි.


මෙම තරඟාවලි මේ ආකාරයෙන් නිමා වීම තුළ ශ්‍රී ලංකාව මුල් ස්ථාන 3 තුළ දිගටම රැඳී සිටීම තහවුරු කරනවා. නමුත් ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ තවත් එක් තරඟාවලියක් ඉතිරිව තිබෙනවා. ඒ 2023 වසරේදී පැවැත්වීමට නියමිත නවසීලන්තය සංචාරයේ තරඟ දෙකයි. මාර්තු මස පැවැත්වීමට නියමිත මෙම තරඟාවලිය අනිවාර්යයෙන්ම 1-0 ක් හෝ 2-0 ක් වශයෙන් ජයග්‍රහණය කළහොත් ඉහත සඳහන් කළ ප්‍රතිඵලයන්ද සමග,


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව


යන තුන් ආකාරයෙන් එක් ආකාරයක අවසන් මහා තරඟයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හට උදා වනු ඇත.

16,250 views0 comments