• Chathura Ramanayake

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සවිමත් කළ දැවැන්තයෙකුගේ ජන්ම දිනය අදයි !!!


ශ්‍රී ලංකා ක්‍රිකට් බිහිකළ තවත් එක් සුවිශේෂී වේගපන්දු යවන්නකුගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතරෙහි අඩුවෙන් කතාබහට ලක්වන ක්‍රීඩකයෙකු වන ඔහු නමින් දිල්හාර ප්‍රනාන්දුයි. අද දිනයේදී සිය 43වන ජන්ම දිනය සමරන දිල්හාර ප්‍රනාන්දු පිළිබඳව Creedanet අප තබන සටහනක් මෙතැන් පටන්...


වසර 1979 අද වැනි දිනක උපත ලද රන්දි දිල්හාර ප්‍රනාන්දු ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරග ආකෘති තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. කඳාන ද මැසනද් විද්‍යාලයීය කීර්තිමත් ආදි සිසුවෙකු වන දිල්හාර පාසල තුළ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නට පෙරාතුව පැසිපන්දු ක්‍රීඩාවෙහි නිරත වී ඇත. වසර 2000දී පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරයකින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අරඹන දිල්හාර ප්‍රනාන්දු ඉන් මාස 6ක් ගතවන තැන දකුණු අප්‍රිකාවේදී පැයට මීටර් 91.9ක වේගයකින් පන්දු යැවීමට සමත් විය.


එලෙසින් ඇරඹුණු දිල්හාර ප්‍රනාන්දුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආබාධයන් හේතුවෙන් තරමක බාධාවන් එල්ල විය. ශ්‍රී ලංකාව බිහිකළ වේගවත්ම පන්දු යවන්නන් අතරෙහි ඉහළින් නම රැදවූ දිල්හාර ප්‍රනාන්දු 2010 වසරේ ගබ්බාහිදී පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන එක්දින තරගයේදී පැයට කිලෝමීටර් 150ක වේගයෙන් පන්දු යැවීමට සමත්කම් දැක්වීය. වේගපන්දු යවන්නෙකු ලෙසින් කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගත් දිල්හාර , ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 40ක් එක්දින තරග 147ක් හා විස්සයි විස්ස තරග 18කට ක්‍රීඩා කොට ඇත.


එහිදී ටෙස්ට් කඩුලු 100ක් එක්දින කඩුලු 187ක් හා විස්සයි විස්ස කඩුලු 18ක් බිදහෙලන්නට ඔහුට හැකිවිය. ඒ අනුව ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු රැස්කළ ක්‍රීඩකයන් අතරෙහි හයවැන්නා බවට පත් වන්නට දිල්හාරට හැකිවී ඇත. 2007 වසරේදී සිය එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම එංගලන්තයට එරෙහිව වාර්තා කළ දිල්හාර ප්‍රනාන්දු එහිදී ලකුණු 27කට කඩුලු 6ක් බිදහෙලන්නට සමත් විය. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 107ක විශිෂ්ඨ ජයක් හිමිවිය.


දිල්හාර ප්‍රනාන්දු යන නාමය බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදවූ එක් තරගයක් බවට පත් වූයේ 2007 ලෝක කුසලාන එක්දින තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගයයි. මෙම තරගයේ අවසන් පන්දුවේදී එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 3ක් රැස්කළ යුතු වුවද එම පන්දුවේදී රවී බොපාරා දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක් හිමිකරදෙන්නට දිල්හාර ප්‍රනාන්දුට හැකිවිය.


දිල්හාර ප්‍රනාන්දු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරගයකට එක්වූයේ 2016 වසරේදීය. ඉන්දියාවට එරෙහි එම විස්සයි විස්ස තරගයේදී පන්දුවාර 2ක් ලකුණු 7කට යොමු කිරීමට දිල්හාරට හැකිවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වේගපන්දුවෙන් සිය විශිෂ්ඨ දායකත්වය එක් කළ දිල්හාර ප්‍රනාන්දු එවක ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදීද දක්ෂතා අතරට පැමිණීමට සමත් විය.2008 හා 2010 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ දිල්හාර ප්‍රනාන්දු තරගවාර දෙක තුළදී කඩුලු 17ක් බිදහෙලීය.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය හොදම පන්දු යැවීම ලෙසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 18කට කඩුලු 4ක් දවාගන්නට දිල්හාරට හැකිවිය. එමෙන්ම 2008 වසරේදී එංගලන්ත County තරගාවලියේදී අවසන් භාගයේදී Worcestershire කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකරගැනීමටද දිල්හාර ප්‍රනාන්දුට හැකිවිය. ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවට වේගපන්දුවෙන් සිය උපරිම දායකත්වය ලබා දුන් දිල්හාර ප්‍රනාන්දු ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු.



0 views0 comments