• Chathura Ramanayake

ශ්‍රී ලංකාවට තවත් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දෙකක් !!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් දෙකක් හිමිකරගැනීමට  ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්කම් දැක්වීය. ඒ මීටර් 100 ඉසව්වෙහි හා පැරා කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්ව යටතේයි.


මීටර් 100 පිරිමි අවසන් මහා තරගය අද අලුයම 2ට ආරම්භ විය. එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී විය. යුපුන් අබේකෝන් අවසන් පූර්ව වටයේදී තත්පර 10.20ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබීය.අවසන් මහා තරගයේදී තත්පර 10.13ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 ඉසව්වෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත් විය. එම ඉසව්වෙහි රිදී පදක්කම යුපුන් අබේකෝන්ට ගිලිහුනේ තත්පර 0.01කිනි.ඒ අනුව මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනාගත්තේ 1998 වසරෙන් පසුව වීම සුවිශේෂීය.


යුපුන් අබේකෝන් එලෙසින් ලෝකඩ පදක්කම දිනාගනිද්දී පැරා F42-44/61-64 ආබාධිත කාණ්ඩයේ කවපෙත්ත විසිකිරීමේ තරගයේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක පාලිත බණ්ඩාර ඊයේ දිනයේදී සමත්කම් දැක්වීය. ඔහු විසින් පෙන්නුම් කළ දක්ෂතාවය මීටර් 44.20කි. මෙම පදක්කම් ද්විත්වය සමගින් ශ්‍රී ලංකාව සමස්ථ පදක්කම් සටහනේ 24වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

35 views0 comments