• Chathura Ramanayake

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ දකුණු අප්‍රිකාවට එරෙහිව තියුණු ජයක් ලබයි !!!


Road Safety ලෝක ශූරතා තරගාවලියේ දසවන තරගය අද පස්වරුවේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදුනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ජොන්ටි රෝඩ්ස් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.


ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කළහ. ශ්‍රී ලංකා ඉනීම සාර්ථක ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ ජීවන් මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර 5ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 43ක් රැස්කළේය.



උපුල් තරංග හතරේ පහර 7ක් සමගින් ලකුණු 36ක් රැස්කොට සිටියදී දුවද්දී දැවීයාමට හසුවූ අතර ඩිල්ෂාන් මුණවීර ලකුණු 26 හා අසේල ගුණරත්න ලකුණු 25ක් ශ්‍රී ලංකා ඉනීමට එක් කළහ. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගයේ 14වන පන්දුවාරය තෙක් තරගයේ පාලනය සියතට ගන්නට විය.


පන්දුවාර 14ක් අවසානයේදී දකුණු අප්‍රිකානු ඉනීම කඩුලු 2කට ලකුණු 117ක් ලෙසින් දිස්වූ අතර පන්දු 36ක් තුළ ජයග්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 49ක් පමණි. නමුත් දක්ෂ අන්දමින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගය ශ්‍රී ලංකා පිළ,දෙසට නතුකරගන්නට විය.


දකුණු අප්‍රිකානු ඉනීමේ නැංගුරම බවට පත් වෙමින් පන්දු 56කදී හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 76ක් රැස්කොට සිටි මෝර්නි වෑන් වික් දවාගැනීමට නුවන් කුලසේකර සමත් විය. සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වද්දී අවසන් පන්දුවාරය තුළ ජයග්‍රහණයට ලකුණු 21ක් අවශ්‍ය විය.


නමුත් ලකුණු 12කින් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය. පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 33කට කඩුලු 2ක් දවාගත් අතර ඩිල්ෂාන්, උදාන හා ජීවන් කඩුල්ල බැගින්ද බිදහෙලීය. මෙම ජයග්‍රහණයත් සමගින් ක්‍රීඩා කළ තරග 3ම ජයගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළ අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගන්නට සමත් විය.

226 views0 comments