• Chathura Ramanayake

ශ්‍රී ලංකා යෞවනයෝ පළමු ඉනීමේ පෙරමුණ ගනිද්දී රෝස්ගේ පිත්තෙන් ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු සිව්දින ටෙස්ට් තරගය තෙවන දිනටත් අද දිනයේදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 387ක ලකුණු පුවරුවක් නිර්මාණය කළහ.


ඊට පිළිතුරු ලෙසින් අද දිනයට තරගය ආරම්භ කරන විට පළමු ඉනීමට කඩුලු 4ක් දැවී ලකුණු 301ක් රැස්කොට සිටියහ. ශතක ලාභී අසිත වන්නිනායක අද දිනයේදී ලකුණු රැස්කිරීමට අසමත් වූ අතර ඔහුගේ ඉනීම නිමාවට පත් වූ අතර පන්දු 315ක් පුරා දියත් වූ එම ඉනීම හතරේ පහර 15කින් වර්ණවත් විය. අසිත දවාගත් ඇස්පින්වෝල් මීළග පන්දුවේදී නැවත වරක් ක්‍රියාත්මක වූයේ කඩුලු රකින ක්‍රීඩක ලහිරු දවටගේ ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවමිනි.


නායක රවීන් ද සිල්වා සමගින් පිටියේ එක් වන විනුජ රන්පුල් හත්වන කඩුල්ලට තවත් ලකුණු 76ක් එක් කරන්නට සමත් විය. නායක රවීන් ද සිල්වා පන්දු 115කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය. විනුජ රන්පුල් පන්දු 85කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 42ක් රැස්කළේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 141 එක් පන්දුවක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 407ක් රැස්කළේ එංගලන්ත පළමු ඉනීමට වඩා ලකුණු 20කින් පෙරමුණ ගනිමිනි. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බර්ටී ෆෝමන් ලකුණු 94ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්ත යොවුන් පිළේ ආරම්භක පිතිකරු හැරී සිං ලකුණු 2කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට වනුජ සහන්ට හැකිවිය. අනතුරුව නායක බෙන් මැකින්නි හා රෝස් වයිට්ෆීල්ඩ් දෙවන කඩුල්ලට ලකුණු 149ක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. නැවත වරක් ක්‍රියාත්මක වූ වනුජ සහන් එංගලන්ත නායක බෙන් මැකින්නි ලකුණු 56කදී දවාගැනීමට සමත් විය.


පළමු ඉනීමේදීද ශ්‍රී ලංකා යෞවනයන්ට එරෙහිව මනා ලෙස පිත්ත හැසිර වූ රෝස් වයිට්ෆීල්ඩ් දෙවන ඉනීමේදීද ශතකයක් වාර්තා කිරීමට සමත් විය.ඔහු දිනයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරයේදී විනුජ රන්පුල්ගේ පන්දුවක් හමුවේ දැවීගියේ ලකුණු 110ක් රැස්කොට සිටියදීය. පන්දු 134ක් තුළදී ඔහු හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. අද දිනය අවසානයේදී එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 199ක් රැස්කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 179ක ඉදිරියක් ලබාගනිමිනි. හෙට තරගයේ අවසන් දිනයයි.



එංගලන්ත යොවුන් පළමු ඉනීම : 387/10

ජෝජ් බෙල් 107, රෝස් වයිට්ෆීල්ඩ් 86 බර්ටී ෆෝමන්* 58

දුවිදු රණතුංග 4/100, ,වනුජ සහන් 2/56, දුලාජ් සමුදිත 2/105


ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනීම : 407/10

අසිත වන්නිනාය 132, රනුද සෝමරත්න 65, රවීන් ද සිල්වා 62

බර්ටී ෆෝමන් 4/92, එඩී ජැක් 2/62, බෙන්ජමින් ක්ලිෆ් 2/68


එංගලන්ත යොවුන් දෙවන ඉනීම : 199/3

රෝස් වයිට්ෆීල්ඩ් 110 , බෙන් මැකින්නි 56

වනුජ සහන් 2/52, විනුජ රන්පුල් 1/32

2,019 views0 comments