• Chathura Ramanayake

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි !!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ දිනයේදී තවත් ඉසව් රාශියක් පැවැත්විණි. ඒ අතරින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පිළිබඳව මෙම ලිපියෙහි අඩංගු කොට ඇත. ඊයේ දිනයේදී බර ඉසිලීමේ ශූර දිලංක ඉසුරු කුමාර විසින් ලෝකඩ පදක්කමක් දිනා දෙමින් ශ්‍රී ලංකා නාමය පදක්කම් සටහන්ට එක් කරන්නට සමත් විය.


ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බැඩ්මින්ටන් මිශ්‍ර ඉසව්ව වෙනුවෙන් තරග බිමට පිවිසියේ අසල්වැසි ඉන්දියාවට එරෙහිවයි. එහිදී පැවති තරග 5හිම ජයග්‍රහණය වට 2-0ක් ලෙසින් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන් අනතුරුව කාගේත් අවධානය යොමු වූ ඉසව්වක් පැවති අතර කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග වැදුනු දිලංක ඉසුරු කුමාර විසින් සමස්ත 225Kg බර ඔසවමිනෙම ඉසව්වෙහි ලෝකඩ පදක්කම දිනා දෙන්නට සමත් විය.


අද දිනයේදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම මූලික වටයේ අවසන් තරගයේදී කැනඩාවට එරෙහිව තරග වැදිනි. එහිදී ලකුණු 74-0ක් ලෙසින් පහසු ජයක් හිමිකරගැනීමට කැනඩා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා පිරිමි රගර් කණ්ඩායම ඊයේ දිනයේදී සැමෝවා කණ්ඩායමට එරෙහිව තරග වැදුනු අතර එහිදී ලකුණු 44-0ක් ලෙසින් පහසු ජයක් හිමිකරගැනීමට සැමෝවා ක්‍රීඩකයන් සමත් විය.


තවද ඊයේ දිනයේදී කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව වෙනුවෙන් ගංගා සෙනවිරත්න තරග බිමට පිවිසියාය. ඊයේ දිනයේදී සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කරන්නට ඇය සමත් වුවද ඇය එම ඉසව්වෙහි 20 වැන්නා බවට පත් විය.ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 61 බර පන්තිය යටතේ බර ඉසිලීමේ ඉසව්ව වෙනුවෙන් තිලංක විරාජ් කුමාර එක් වුවද ඔහුට සාර්ථකව තරගය නිමා කළ නොහැකිවිය.


සුපිරි 32නාගේ තරග වටය වෙනුවෙන් ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුවද ඔවුන්ට ජයග්‍රණයන් ලබාගත නොහැකි විය. ඒ අනුව චනිත්මා සිනාලි වට 3-0ක් ලෙසින් කැනඩා ක්‍රීඩිකාවක් හමුවේද යෙහානි කුරුප්පු එංගලන්ත ක්‍රීඩිකාවක් හමුවේ වට 3-0ක් ලෙසින්ද පරාජයට පත් විය. එමෙන්ම ශ්‍රි ලංකා ක්‍රීඩකයන් වූ රවිදු ලක්සිරි ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකු හමුවේ වට 3-0ක් ලෙසින්ද ශමිල් වකීල් ඉන්දීය ක්‍රීඩකයෙකු හමුවේ වට 3-0ක් ලෙසින්ද පරාජයට පත් විය.



ඊයේ දිනයේදී බර ඉසිලීමේ ක්‍රීඩිකා ශ්‍රීමාලි සමරකෝන් කිලෝග්‍රෑම් 49 කාන්තා තරග ඉසව්ව යටතේ තරග වැදුනි. එහිදී ඇය සැනැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 67ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 85ක්ද ඔසවමින් අටවන ස්ථානය හිමිකරගැනීමට ඇය සමත් විය. කාන්තා රග්බි පස්වන හා හයවන ස්ථාන තේරීම සදහා පැවති අවසන් පූර්ව තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ ලකුණු 58-0ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. එමෙන්ම නවවන හා දසවැනි ස්ථාන තේරීම සදහා පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී උගන්ඩාව හමුවේ ලකුණු 38-19ක් ලෙසින් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට සිදුවිය.


ඊයේ රාත්‍රියේදී පාකිස්තානය සමගින් පැවති බැඩ්මින්ටන් මිශ්‍ර ඉසව්වෙහිදී තරග 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාව සමගින් තරග වැදීමට නියමිතය. ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ බර ඉසිලීමේ ඉසව්ව වෙනුවෙන් චමරි වර්ණකුලසූරිය ක්‍රීඩිකාව තරග වැදුනු අතර ඇයට එහිදී හත්වන ස්ථානය හිමි විය. ඇය ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 70ක්ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 94ක් ඔසවන්නට සමත්කම් දැක්වීය.




0 views0 comments