• Chathura Ramanayake

ශ්‍රී ලංකා පිතිකරුවෝ ගාලු පිටියේ කදවුරු බදිති !!!



සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය තෙවන දිනටත් අද දිනයේදී පැවැත්විණි. ඊයේ දිනයට තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනීමට රැස්කළ ලකුණු 364ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 184ක් රැස්කොට සිටියහ. අද දිනයට තරගය ආරම්භ කොට ස්වල්ප වේලාවකින් අනතුරුව ලකුණු 85ක් රැස්කොට සිටි කුසල් මෙන්ඩිස් දැවීගියේ නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙනි.


අනතුරුව පිටියට පිවිසෙන දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිවුස් සමගින් එක්ව යළිත් සබදතාවක් ගොඩනගන්නට විය. චන්දිමාල් හා මැතිවුස් තෙවන කඩුල්ලට ලකුණු 83ක් එක්කරන්නට විය. ඇන්ජලෝ මැතිවුස් ටෙස්ට් දිවියේ 38වන අර්ධ ශතකය වාර්තා කොට සිටියදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ලකුණු 52කට දැවී ගියේ ලබුශේන් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.


සිය මංගල ටෙස්ට් ඉනීම ක්‍රීඩා කිරීමට පිටියට එක්වන කමිදු මෙන්ඩිස්, චන්දිමාල් සමගින් එක්ව කැන්ගරු පන්දු යවන්නන්ට එරෙහිව පිටියේ කදවුරු බදින්නට විය. ඔවුන් දෙදෙනා එක්ව පස්වන කඩුල්ලට ලකුණු 133ක අගනා සබදතාවක් ගොඩනගන්නට විය. කමිදු මෙන්ඩිස් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 61ක් රැස්කිරීමට සමත් විය. හිටපු නායක දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13වන ශතකය වාර්තා කළේ ශ්‍රී ලංකා ඉනීමේ නැංගුරම බවට පත් වෙමිනි.


කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි. තෙවන දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 431ක් රැස්කොට සිටියේ පළමු ඉනීමේ ලකුණු 67ක පෙරමුණක් ලබාගනිමිනි. නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් පන්දු 232කදී හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 118ක් රැස්කොට සිටියි.


ඕස්ට්‍රේලියානු පළමු ඉනීම - 364/10 (110)

ස්ටීව් ස්මිත්* 145(272), මානස් ලබුශේන් 104(156), උස්මාන් කවාජා 37(77), ඇලෙක්ස් කෙරී 28(61)

ප්‍රභාත් ජයසූරිය 6/118, කසුන් රාජිත 2/70 , මහීෂ් තීක්ෂණ 1/48


ශ්‍රී ලංකා පළමු ඉනීම - 431/6 (149)

දිනේෂ් චන්දිමාල්* 118(232), දිමුත් කරුණාරත්න 86(165), කුසල් මෙන්ඩිස් 85(161), කමිදු මෙන්ඩිස් 61(137), ඇන්ජලෝ මැතිවුස් 52(117)

මිචෙල් ස්ටාක් 2/47, මයිකල් ස්වෙප්සන් 2/90

8 views0 comments