• Shaminda Jayarathne

ශ්‍රී ලංකා තරඟාවලිය ගැන ලබුෂේන් සෑහීමකට පත් නොවන ලකුණු!

මානස් ලබුෂේන් යනු පසුගිය සමයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෙක් ලෙසින් ඉතාම ඉක්මනින් ජනප්‍රිය වුණ ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් පිටියේ වඩාත් සාර්ථක වෙමින් ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවටද පත් වුණා. නමුත් එක්දින පිටියේදී ලබුෂේන් ටෙස්ට් පිටියේ තරම් සාර්ථක වුණේ නෑ.


මේ නිසාවෙන් එක්දින තරඟ ආකෘතිය තුළ තමන් මීළඟට ක්‍රීඩා කරන්නේ කෙසේදැයි ඔහු අදහස් දක්වා තිබෙනවා. ඒ එළඹෙන සිම්බාබ්වේ සහ නවසීලන්ත සංචාර කේන්ද්‍ර කොටගෙනයි. ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී එක්දින තරඟ වල ලබුෂේන් අසාර්ථක වූ අතරම ඔහු එයට පිළියම් සොයමින් සිටිනවා. ශ්‍රී ලංකා තරඟාවලිය ගැන අදහස් දක්වමින්,


"මම ආපසු ඒ දිහා හැරිලා බැලුවා. මම හිතනවා ක්‍රීඩා කරන ආකාරය වෙනස් කළ යුතුයි කියා. මගේ ඉනිමක ආරම්භය වේගවත් වුණේ නෑ කියලා හිතෙනවා. තවදුරටත් ස්වීප් පහරවල් එල්ල කරන්න, පාද චලනය වැඩි කරගන්න උත්සාහ කළා. නමුත් ඒ තත්ත්වයන් යටතේ මම සාර්ථක වුණේ නෑ. කොහොම වුණත් එය හොඳ අත්දැකීමක්."

මානස් ලබුෂේන් ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් එවැනි මතයක් දරනවා. ඔහු එක්දින තරඟ 5 පුරාවටම ලකුණු 18 ත් 31 ත් අතරේ දැවී ගියා. එය සාර්ථක ප්‍රතිඵලයක් නොවේ. ඉදිරි තරඟ වලදී අංක 5 පිතිකරු වුවහොත් කටයුතු කරන්නේ කෙසේදැයි යන්නද ඔහු තම අදහස් ප්‍රකාශ කළා.


"මම හැමතිස්සෙම නව අභියෝග වලට කැමති කෙනෙක්. ඒ වගේම තමයි ගොඩක්ම ඉදිරිපෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන්න ආසයි. මගේ සම්පූර්ණ ජීවිතයම ගෙවුනේ එතන නිසා. නමුත් අංක 5 ක්‍රීඩා කරනවා නම් තව තේරුගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට කොයි වෙලාවෙද වේගවත් වෙන්නෙ කොයි වෙලාවෙද ආරක්ෂාකාරී වෙන්නෙ වගේ දේවල්. මම මාව විශ්වාස කරනවා."

81 views0 comments