• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හයවන වරටත් ආසියානු ශූරියන් ලෙසින් අභිසෙස් ලබයි !!!


ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ 12 වන අදියර සිංගප්පූරුවේදී අවසන් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හයවන වරටත් ශූරියන් ලෙසින් කිරුලු පළන්දවමිනි. 2018වසරේදී අවසන් වරට පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශූරතාවයද දිනාගනු ලැබූයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. මෙවර තරගාවලිය මුලුල්ලේ සිය අපරාජිතබාවයද රැකගනිමින් ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.



ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් පළමු වටයේදී A කාණ්ඩය ඔස්සේ තරග වදිමින් ඉන්දියාව හා පිලිපීනයට එරෙහිව පහසු ජයක් හිමිකරගැනීමට සමත් විය.දෙවන වටයේදීද සිය අපරාජිතබාවය රැකගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වන්නේ සිංගප්පූරුව, මැලේසියාව හා හොංකොං කණ්ඩායම් ත්‍රිත්වයම පරාජයට පත් කරමිනි. ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව හොංකොං කණ්ඩායම තරග බිමට පිවිසෙද්දී ලකුණු 67-43ක් ලෙසින් පරාජයට පත් වන්නට ඔවුන්ටද සිදුවිය.


තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වූයේ සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිවයි. ආරම්භයේ සිටම අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු කාර්තුවේදී ලකුණු 19-13ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට හැකි විය. දෙවන කාර්තුව තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 14ක් රැස්කළද එම කාර්තුව අවසානයේදී ද ලකුණු 30-27ක් ලෙසින් පෙරමුණ හිමිකරගත්තේ සිංගප්පූරු කණ්ඩායමයි.


තරගයේ තෙවන කා‍ර්තුවේදී සිය අණසක පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම කාර්තුව අවසන් වන විට තරගයේ පාලනය සියතට ගන්නේ ලකුණු 46-38ක් ලෙසින් පෙරමුණ හිමිකරගනිමිනි. තරගයේ අවසන් කාර්තුව තුළදී ද විශිෂ්ට දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ නියමිත කාලය අවසානයේදී ලකුණු 63-53ක් ලෙසින් ඉදිරියෙන් පසු වූයේ හයවන වරටත් ආසියානු ශූරියන් ලෙසින් අභිසෙස් ලබමිනි. ආසියානු ශූරියන් බවට පත් වූ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන්ට Creedanet අපි සුභපැතුම් එක් කර සිටිමු.

406 views0 comments