• Chathura Ramanayake

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එංගලන්තය හමුවේ පරාජයට පත් වෙයි !!!



22වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වෙහි තවත් තරග 2ක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග 2න් ජයග්‍රහණ වාර්තා කිරීම එංගලන්ත හා නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත්විය. පළමු තරගය පැවැත්වූයේ නවසීලන්ත කාන්තා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතරයි.


මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ.ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 167ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් නායිකා සෝපී ඩේවින් හා සුසී බේට්ස් අතරෙහි ලකුණු 99ක සබදතාවක් ගොඩනැගුණි. සෝපී ඩේවින් පන්දු 40ක් තුළ හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 48ක් රැස්කළාය. සුසී බේට්ස් පන්දු 64ක් තුළදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 91ක් රැස්කළ අතර ඇමේලියා කේර් ලකුණු 20ක් රැස්කොට සිටියදී අවසන් පන්දුවේදී දුවද්දී දැවීයාමට හසුවිය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2ක ලකුණු 15ක් තුළ බිදවැටුනි. නමුත් අංක 3 හා මැදපෙළ පිතිකාරිණියන් තිදෙනා එක්ව දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ දැරීය.  නමුත් නියමිත පන්දුවාර විස්ස තුළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 154ක් පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් චෝල් ට්‍රයන් හතරේ පහර හා හයේ පහර 3 බැගින් එල්ල කරමින් පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 39ක් රැස්කළ අතර නායිකා සුනේ ලූස් ලකුණු 32ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී සොපී ඩේවින් ලකුණු 37කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.


New Zealand 167 for 2 (Bates 91*, Devine 48, Mlaba 1-33)

South Africa 154 for 7 (Tryon 39, Devine 3-37)


දෙවන තරගය ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පිතිකරණයේ යෙදීමට තීරණය කළාය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 106ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ නිලක්ෂි ද සිල්වා ලකුණු 25ක්ද  හෂිනි පෙරේරා ලකුණු 17ක්ද රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් සොපී එක්ලිස්ටන් ලකුණු 25කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.


ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන එංගලන්ත කාන්තා කණ්ඩායම ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ලකුණු 26ක් වන් විට ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඕෂධී රණසිංහට හැකිවිය. නමුත් ඇලිස් කැප්සී විසින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම ගොඩනගන්නට විය. ඇය පන්දු 45ක් තුළ හතරේ පහර 4ක් සමගින් ලකුණු 44ක් රැස්කිරීමට සමත් විය. මායා බුචියර් එංගලන්ත පිළ වෙනුවෙන් නොදැවී ලකුණු 21ක් රැස්කරමින් තරග ජයග්‍රාහීව අවසන් කළාය. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 29ට කඩුලු 3ක් හා ඕෂධී රණසිංහ කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.


Sri Lanka 106 for 9 (de Silva 25, Ecclestone 3-25)

England 109 for 5 (Capsey 44, Ranaweera 3-29)

0 views0 comments